දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරයි.

ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡාව කැඳවා තිබිණ. විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා විය.

පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදාවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැගීමට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිවරයා ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරණ අවස්ථාවේ ඇතමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බව ජනාධිපතිවරයා පැවසීය.

රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වය  හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බව පැවසූහ. ඇතැම් රටවල් කාර්යක්ෂමව කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීමෙන් එම රටවලට ලැබීමට නියමිතව තිබූ ඇණවුම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබේ. එහි ප්‍රවර්ධනය සඳහා සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ව්‍යවසායකයෝ සඳහන් කළහ. 

අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගතවීම සම්පූර්ණයෙන් නතර කර, රට තුළ එම අධ්‍යාපන අවස්ථා උදාකරදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන ලෙස ද ව්‍යවසායකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

 

1 comment

Samson de silva

03 years 09 months 23 days 03 hours 20 minutes 14 seconds ago

Weda karana apey wiruwaa, nikanma nikan kayiwaruwaa witharayi. Onna den minissungey sahayogaya awashyayilu. Den maasayakata kalin kiwwe kohomada. Rata sanwardanaya karana eka "mata maha kajjak noweyi" kiyalaa.

Reply

Leave a Reply

Post Comment