හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී  රජයට එරෙහිව  සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ජනතාවට දරා ගත නොහැකි ලෙස රට තුළ දිනෙන් දිනම ඉහළ යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශණය කරමින් රජයට එරෙහි මෙම විරෝධතාවයේ නිරතව සිටියහ.

විරෝධතාවය පැවැති  එම ස්ථානයට පැමිණි පොලීසිය පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම ජන ඒකරාශිවීම  නවතා දමා විසිරී යන ලෙස ජනතාවට දැනුම් දෙන බව සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පැවැසීමත් සමග   විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.

එම අවස්ථාවේ නාවලපිටිය පොලීසිය විසින් සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන්  නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කීය.

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා විසින් සංවිධානය කොට තිබු මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන සංවිධායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ පැවැත්වෙමින් තිබිණි.

දෙපිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණයවීම වැළැක්වීම  සඳහා පොලීසිය නාවලපිටිය  නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි.

ශාන් හුලංනුගේ

1 comment

Paranagamage

02 years 08 months 08 days 23 hours 09 minutes 16 seconds ago

මෙහෙම අත් අඩංගුවට ගැනීමට ඉදිරියේදී පොලිසියේ සිටින පිරිස් හොදටම මදිවේවි.

Reply

Leave a Reply

Post Comment