දිවයිනේ ප්‍රථම වතාවට  හිලෑ  අලි ඇතුන් බෝ කර ගැනීම සඳහා අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම හීලෑ අලි ඇතුන්ට  දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන පුද්ගලික රෝහලක් 07 දින විවෘත කිරීමට හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයින් පියවර ගනු ලැබීය.

 මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකොට ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ දී  ග්‍රාමාරක්ෂක භටයකුගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලබා සිටි සීතා ඇතින්නගේ  හිමිකාරීත්වය දරන  මහරගම එස්. එන්. රොෂාන් මහතාගේ සංකල්පයකට අනුව බව හීලෑ අලි  ඇතුන්ගේ සංගමය කියයි

 මෙම අවස්ථාවේදී මහියංගනයේදී වෙඩි වැදී  තුවාල ලබා සුව අතට පත් වූ සීතා ඇතින්න හබරණ ප්‍රදේශයේ මෙම රෝහලට  ගෙන්වා තිබුණු අතර ඇයගෙන් හීලෑ අලි පැටවුන් බෝ කිරීමට අභිජනනය කිරීමේ මංගල කටයුත්තද සිදුකිරීම විශේෂත්වයකි.

 ඒ සඳහා රාජා නමැති හස්තියෙක්  ගෙන්වා ඔවුන් ගේ පළමු ස්වභාවික එකතුවීමේ ක්‍රියාවලිය අභිජනන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ සිදු කිරීම විශේෂත්වයකි.

 හීලෑ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමට අමතරව ඇත් ගොව්වන් නමින් හැඳින්වෙන ඇතුන් බලාගන්නා ශිල්පීන් හස්ති පාලකවරුන් පුහුණු කිරීමේ කටයුතුද මෙම ස්ථානයේදී   ක්‍රියාත්මක වන බවත් දිවයිනේ ප්‍රථම වතාවට මෙවැනි ස්ථානයක් ආරම්භ කිරීමට හැකිවීම ගැන තමන් බලවත් සේ සතුටට පත්වන බව පාරම්පරික අලි හිමිකරුකු  වන රොෂාන් මහතා පැවසීය.

 එමෙන්ම සීතා ඇතින්න  වෙඩි  වැදී බරපතල තත්ත්වයේ සිටිය දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කරන පශු  වෛද්‍යවරුන් මෙන් ම දේශීය   හස්තී වෛද්‍යවරුන් එක්ව   ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ බවත්  නැදුම් ගමුවේ ඇතා මිය ගොස් වසර දෙකක් පිරීම සිදුවන බවත් අලුත්ගම  කන්ද කැටියේ විහාරයේ සිටි මුතුරාජා ඇතා අසනීප තත්ත්වයෙන්  රටට අපකීර්තියක්  එක්කරමින් නැවත් එම රටවල්වලට රැගෙන යෑම ආදී  ක්‍රියා සිදුවුණේ හීලෑ අලි ඇතුන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොතිබීම නිසාවෙන් බව රොෂාන් මහතා සඳහන් කළේය

 මෙම හේතූන් කීපය මුල්කරගෙන  ලංකාවේ ප්‍රථම හීලෑ අලි ඇතුන්ගේ ප්‍රතිකාර රෝහල අභිජනන මධ්‍යස්ථානය මෙන්ම හස්ති  පාලකවරුන් පුහුණු කිරීමේ ස්ථානය ආරම්භ කිරීමට හැකි වූ බව හෙතෙම පැවසීය.

 මෙහිදී විශේෂයෙන් මෙරට සංස්කෘතික මංගල්‍යයන්වලට සංචාරක කර්මාන්තයට විශාල සේවාවක් ඉටුකරන හීලෑ අලි ඇතුන් සංරක්ෂණය කර ගැනීම ඔවුන්ගේ පැවැත්ම වර්ධනය කර ගැනීම සිදු නොකළහොත් ඉදිරියේදී බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවද හෙතෙම සඳහන් කළේය

0 comments

Leave a Reply

Post Comment