අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියර අද (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින් විවෘත කෙරුණු  අතර ඊට විරෝධය පල කරමින් දේශවාසීහු පිරිසක්  එම ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ ඔවුන්ගේ දැඩි විරෝධය පල කලහ. 

මෙම විවෘත කිරීම සඳහා ජපන් තානාපති ඇතුළු ජපන් ජාත්‍යන්තර සහයෝගිතා (ජයිකා) ආයතනයේ  දූත පිරිසක් ද එක්ව සිටියහ. 

මෙහිදී විරෝධතාවයේ යෙදුණු පිරිස් පැවසුවේ, මෙම පානීය ජල ව්‍යාපෘතියේ ජලය යාපනයට හෝ රැගෙන ගියත් තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත් , මෙම ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගන්නා මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් කරන්නේ නැතිව මෙය විවෘත කිරීමෙන් මහා කනදරාව  ව්‍යාපාරයේ ගොවීහු අන්ත අසරණ භාවයට පත්වන බවය.

දැනට අහස් වැස්සෙන් පමණක් ලැබෙන ජලයෙන් මහ කන දරාව ජලාශය යටතේ අක්කර 9000ක කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන බවත්, මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හේතුවෙන් දැඩි නියගෙන්  පසු ලැබුණු වැස්සෙන්  පිරී ගිය කනදරාව  ජලාශය සතියක් යාමට මත්තෙන් සිඳී යන බව එම පිරිස් මෙහිදී  පැවසූහ.  

මෙම ජල යෝජනා ක්‍රමය යටතේ දිනකට ගණ මීටර් 6700 ක ජල ධාරිතාවයක් මහා කනදරාව ජලාශයෙන් ලබා ගැනීමට නියමිත බවත් ජලාශයට ජලය ලැබෙන ක්‍රමයක් නොමැතිව මෙම පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් දරු පවුල් 5000 කට වැඩි  සංඛ්‍යාවක් හට, යන එන මං නොමැතිව යන බවද එම ප්‍රදේශවාසීහු පැවසූහ.

මොර ගහ කන්ද ජලාශයේ සිට ඒරුවැව හරහා මහ කනදරාව ජලාශයට ජලය ලබා දීමෙන් පසුව  මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කරන බවට පොරොන්දුවක්  ලබා දී තිබුනද එම  ඇල මාර්ගයේ කටයුතු තවමත් නිමකර නොමැති අවස්ථාවක ගොවි ජනතාව ගොනාට අන්දවා  මෙම පානීය ජලය යෝජනා ක්‍රමය විවෘත කිරීම අනුවණ ක්‍රියාවක් බවද එම පිරිස් පැවසූහ. 

මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට ජනාධිපති පැමිණෙන බවට ප්‍රකාශ වීමත් සමග ඊට විරෝධය පල කිරීම සඳහා  සති කිහිපයක සිට  විරෝධතා ව්‍යාපාරයක් දැක්වීම සඳහා ගොවීහු  සූදානම්ව සිටියහ.

මෙම විරෝධතාවය මෙලෙස පවත්වනු ලබන්නේ  අදාල විරෝධතාවය තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා  දෙන ලෙසට මිහින්තලේ පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුබිමකය.

විවෘත කිරීමට නියමිතව තිබූ ජල පවිත්‍රාගාරය අසලට විරෝධතා කරුවන් පැමිණීම වැලැක්වීමට  සඳහා පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , කැරලි මර්දන ඒකකය , යුධ හමුදාව , පොලිස් ජල ප්‍රහාරක රථය සූදානම් කර ඒ අවට ප්‍රදේශවල අතුරු මාර්ග රැසක පොලිස් මාර්ග බාධක යොදා තිබුණි 

මෙහිදී සංවිධානාත්මක එක් රැස්වූ ගොවිහු පිරිසක් කුඹුරු මැදින් , ලදු කැලෑ වලින් සහ ඇල මාර්ග තරණය කරමින්, පොලිස් මාර්ග බාධක තුනක් තල්ලු කර දමමින්  ජල පවිත්‍රාගාරය ඉදිරිපිටට පැමිණ මෙම විරෝධතාවය පල කළහ. මෙහිදී ඇතැම් ගොවීහු පැවසූයේ අපේ ඉඩම් වලින් ආරක්ෂක අංශ වහා ඉවත් විය යුතු බවය.

මෙම ක්‍රියාව නංගි පෙන්වා අක්කා දුන්නා වගේ වැඩක් යයිද ඔවුහු පැවසූහ.

මෙහිදී විරෝධතාවයේ යෙදුණු 21ක් දෙනෙකු හට මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග  සාකච්ඡා කිරීම සඳහා ද කැඳවා තිබුණි.

මේ සඳහා ඒකාබද්ධ ගොවි සංවිධානය නියෝජනය කරමින් ගොවි සංවිධාන පහළොවකට වැඩි සංඛ්‍යාවක  ගොවීහු පන්සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

0 comments

Leave a Reply

Post Comment