ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාල්ල කොටුවෙන් පිටතට ගෙන ඒමේ ක්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට අවධාරණය කළේය.

ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලැසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.

ගාල්ල කොටුවේ දී එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟ ද කථා බහකට  එක්වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා අනතුරුව ඒ අසළ වෙළෙඳ සැළකට ද ගොස් වෙළෙඳසැල් හිමියන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ගාල්ල කොටුවේ සංවර්ධනයට අදාළව ඔවුන්ගේ ද අදහස් විමසා සිටියේය.

මේ අතර ගාල්ල කොටුව ආශ්‍රිතව පැවැත්වෙන 2024 ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  එක් විය.

ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක් වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

 

0 comments

Leave a Reply

Post Comment