ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාල භූමියේ සිට මහනුවර දෙසට ගමන් කර වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ එම විරෝධතා පා ගමන ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත, විශ්ව විද්‍යාල ක්‍රියාකාරීන්ගේ පන්ති තහනම් කිරීම, විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ ක්‍රියා කලාපය, විශ්වවිද්‍යාල භූමිය තුළ සවිකොට ඇති ආවේක්ෂණ කැමරා පද්ධතිවලට විරෝධය දැක්වීම ආදී කරුණු ගණනාවක් මුල්කරගනිමින් විරෝධතා පා ගමන සංවිධානය කොට තිබුණි .

කෙසේ නමුත් එම විරෝධතා පා ගමන පේරාදෙණිය උද්භිත උද්‍යානය පසුකොට කෙටි දුරක් ඉදිරියට පැමිණෙනවාත් සමග පොලිස් නිලධාරීන් කඳුළු සහ ජල ප්‍රහාර එල්ල කොට විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය.

මෙම අවස්ථාවේදී නුවර කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදු වූ අතර පෙරදෙණිය උද්භිත උද්‍යානයට විදේශිකයන් රැගෙන ආ වාහන කිහිපයකට ද ගල් ප්‍රහාර වැදීම හේතුවෙන් අලාභානි සිදුව තිබෙන අයුරු දක්නට ලැබුණි.

ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ

0 comments

Leave a Reply

Post Comment