එංගලන්තයේ පැවති 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂක ඉසවකින් රන් පදක්කමක් හිමි කර ගැනීමට හැකි වී ඇති අතර එම රන් පදක්කම හිමි කර ගත් හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් ක්‍රීඩකයින් දෙදෙනා 07/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ  වෙත පැමිණියහ.

මෙම තරගාවලිය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 32 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/10 දින සිට 07/13 දින දක්වා එංගලන්තයේ වේල්ස් නුවර පවත්වා තිබුණි.

ලෝකයේ වේගවත්ම ක්‍රීඩා ඉසව්වක් වන තත්පර 10 ක් ඇතුළත මීටර් 12.50 ක දියඹෙහි සිටින පුද්ගලයෙකු ගොඩට ඇද ගැනීමේ  " ලණුවක් මගින් ගලවා ගැනීම " ( Line Throw ) ඉසව්වට සහභාගී වූ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් මෙම ඉසව්ව තත්පර 09.98 ක කාළයකින් නිම කර මෙම රන් පදක්කම දිනා ගෙන තිබුණි.

එසේම මෙම තරගාවලියේ දී හිරුණ ද සිල්වා " නැගී එන දක්ෂතම ක්‍රීඩකයාට '' හිමි සම්මානය ද හිමි කර ගැනීමට සමත් වී තිබුණි.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ විෂයයන් හදාරන සිසුන් වීම විශේෂත්වයකි.

මොවුන් දෙදෙනා 07/16 දින සවස 05.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

0 comments

Leave a Reply

Post Comment