ඉරානය සමඟ "ඉක්මනින්" ගිවිසුමකට පැමිණීමේ හැකියාව මත ඉරානයට එරෙහිව  එල්ල කිරීමට නියමිතව  තිබූ ප්‍රහාර අවලංගු කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

'ට්‍රත් සෝෂල්' (Truth Social) හි පළ කළ සටහනක ඇමරිකානු ජනාධිපතිවරයා පැවැසුවේ  "ලෝකයේ අනාගත යහපත මෙන්ම සාර්ථක හා සමෘද්ධිමත් ඉරානයක පැවැත්ම වෙනුවෙන්, ඉක්මනින් ගිවිසුමකට එළැඹීමේ කොන්දේසිය මත මෙම ප්‍රහාරය අවලංගු කිරීමට මම එකඟ වී ඇත්තෙමි." යනුවෙනි.

මෙම තීරණය ඊශ්‍රායලය සමඟ එක්ව ගත් බව ට්‍රම්ප් පැවසීය. සති අන්තයේදී ඉරානයට එරෙහිව නව සහ දැඩි ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව සැලසුම් කරමින් සිටි බවට පළ වූ මාධ්‍ය වාර්තා මධ්‍යයේ මෙම නිවේදනය නිකුත් විය.

වොෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ඕනෑම කලාපීය රාජ්‍යයක් "යුද්ධයේ ගිනිදැල්වලට හසුවනු" ඇති බව පවසමින්, ඇමරිකාව ආතතීන් උත්සන්න කරන බවට ටෙහෙරානය මීට පෙර චෝදනා කර තිබුණි.

ගිවිසුමකට එළැඹීමට ඉඩ සලසන පරිදි ප්‍රහාරයක් එල්ල කිරීම "කල් දමන" ලෙස ඉරානය සහ මැද පෙරදිග අනෙකුත් රටවල් කළ ඉල්ලීමකින් පසුව තමා මෙම තීරණයට එළැඹි බව ට්‍රම්ප් පැවසීය.

ඕනෑම ගිවිසුමකට "හෝර්මූස් සමුද්‍ර සන්ධිය ක්ෂණිකව, සම්පූර්ණයෙන්ම සහ මුළුමනින්ම විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයට තිත තැබීම" ඇතුළත් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments

Leave a Reply

Post Comment