දකුණු ආසියානු මගී නෞකා ගමනාන්තයන් අතර ප්‍රමුඛයෙකු ලෙස වැඩෙන නමක් උපයමින් සිටින හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින් “Mein Schiff 6” නෞකාව සාදරයෙන් පිළිගනු ලැබීය.
පසුගිය දෙසැම්බර් 3 වැනි දින පැමිණි නෞකාව, වරාය වෙත සිදුකළ මංගල සංචාරය මෙය වේ. මෝල්ටා ධජය සහිත, 2017 දී ඉදිකරන ලද, මීටර් 295.17ක දිගකින් යුත් මෙම නෞකාව කොළඹ සිට පැමිණියේ මගීන් 2,289ක් සහ කාර්ය මණ්ඩලය 950ක් සමගිනි. HIP හි නැවතීමෙන් අනතුරුව, නෞකාව කී ලෑන්ග් වරාය වෙත ගමන් කරනු ඇත. නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස හැපැග් ලොයිඩ් (Hapag Lloyd) සමාගම කටයුතු කළ අතර, ඒට්කන් ස්පෙන්ස් නැව් සමාගම (Aitken Spence Shipping) විසින් මගීන් සඳහා වෙරළාන්ත සංචාර සංවිධානය කරන ලදී.
"Mein Schiff 6 නෞකාව පළමු වරට පිළිගැනීමට ලැබීම අපට මහත් සතුටක්" යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ටොමී යැන්ග් මහතා පැවසීය. "මෙවැනි සෑම මංගල සංචාරයක්ම HIP හි වර්ධනය වන හැකියාවන් සහ මගී සේවා ලබාදීමට වරායට ඇති හැකියාව තහවුරු කරන අතර, ගෝලීය මගී නෞකා සමාගම් අප මත තබා ඇති විශ්වාසයද තවදුරටත් ශක්තිමත් කරයි."
TUI නැව් සමාගමේ Mein Schiff 5 නෞකාව පසුගිය සමූද්‍ර සංචාර සමයන්හිදී කිහිප සැරයක් HIP වෙත සංචාරකයින් රැගෙන ආ අතර, මෙම මංගල සංචාරය එම සමාගම හා වරාය අතර ඇති සබඳතාව තවත් ශක්තිමත් කරයි. “TUI මගී නෞකා සමාගම, ජාත්‍යන්තර සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හඳුන්වා දීමේ වැදගත් හවුල්කරුවෙකු වූ සමාගමක්” යැයි හැපැග් ලොයිඩ් සමාගමේ සාමාන්‍යාධිකාරී මින්දක දසනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මගී නෞකා සඳහා සුදානම් වරායක් ලෙස දැනටමත් ප්‍රසිද්ධියක් ලබා ඇති HIP, ගැඹුරු ජල නැංගුරම් පළ පහසුකම් සහ කාර්යක්ෂම සමුද්‍රීය සේවා සමග, ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වරාය ක්‍රියාත්මක වෙයි. ගුණාත්මකභාවය, පාරිසරික කළමනාකරණය සහ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ISO සහතික ලබාගත් එකම ශ්‍රී ලාංකේය වරාය ලෙස HIP තම මෙහෙයුම් ශක්‍යතාව තවදුරටත් සහතික කරයි.
කලාපයේ පිරිසිදුම සහ පරිසර හිතකාමීම වරායක් ලෙසද HIP පිදුම් ලබා ඇත. "තිරසාරභාවය අපගේ මෙහෙයුම්වල මූලික ඉලක්කයයි" යැයි HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තවදුරටත් පැවසීය. “හරිත කලාප සඳහා මහා පරිමාණ ගස් සිටුවීමේ වැඩසටහන සහ කොරල් පර ආරක්ෂණ ව්‍යාපෘතිය වැනි මුලපිරීම් HIP හි හරිත වරාය ප්‍රතිපත්තිය ඉස්මතු කරන අතරම සංචාරක නෞකා සමාගම් සඳහා විශාල ආකර්ශණයක් ද වෙනවා.”
Mein Schiff 6 නෞකාවේ මෙම පැමිණීම, ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ආරක්ෂිත, පිරිසිදු සහ ඉදිරි අනාගතයට සූදානම් සමූද්‍ර සංචාරක දොරටුවක් ලෙස HIP හි වැඩෙන ස්ථාවරත්වයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
Leave a Reply