ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත් කළ වසරේ සිට මේ දක්වා සෑම වසරකම දිනාගත් මෙරට එකම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් තම අද්විතීය ස්ථානය තවදුරටත් තහවුරු කර තිබේ.

කීර්තිමත් ගෝලීය අලෙවිකරණ දත්ත පර්යේෂණ හා විශ්ලේෂණ ආයතනයක් වන කැන්ටාර් සමඟ එක්ව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ඉදිරිපත් කරන මෙම ජනතා සම්මාන උළෙල, පූර්ණ වශයෙන්ම පදනම් වී ඇත්තේ ස්වාධීන ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල මත වේ. පාරිභෝගික ඡන්දවලින්ම පමණක් තීරණය වන මෙම සම්මාන, මෙරට ජනප්‍රියතාවයේ වඩාත්ම අව්‍යාජ වූ පිළිබිඹුවක් ලෙස සැලකේ.

ඉහළම මහජන ප්‍රසාදය සමඟින් දිවෙන සෙලින්කෝ ලයිෆ්හි වසර 20ක අඛණ්ඩ ගමනට සමගාමීව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් සමඟ 2025 දී සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 22 වන වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකයා වීමටද සමත් විය. 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සමාගම රු.බිලියන 44.18ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රු.බිලියන 72.43ක මුළු ආදායමක් වාර්තා කළ අතර, එහි ජීවිත අරමුදලෙහි වටිනාකම රු.බිලියන 200ක සන්ධිස්ථානය ද ඉක්මවා ගියේය. පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් සමාගම මෙම වසර තුළ ඔප්පුහිමියන්ට ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ වශයෙන් රු.බිලියන 37.07ක් ගෙවා ඇත.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, “ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව වසර 20ක් පුරාවට තේරී පත්වීම අප නිහතමානීව හා කෘතඥපූර්වකව පිළිගන්නා ඉහළම ගණයේ ගෞරවයක්. අප කරන සෑම කාර්යයකටම අනුබල දෙන අපගේ රක්ෂණ ඔප්පු හිමියන් අප වෙත තබා ඇති නොසැලෙන විශ්වාසයට මෙම සන්ධිස්ථානීය සම්මානය උපහාරයක්. මෙම අසමසම ගමනට දායක වූ අපගේ මිලියනයකට අධික රක්ෂණ ඔප්පු හිමියන්ට, අපගේ කැපවූ සේවක පිරිසට සහ උපදේශකයින්ට, අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ අනෙකුත් සියලුම කොටස්කරුවන්ට අප බෙහෙවින් කෘතඥ වෙනවා.

අපගේ සාර්ථකත්වය සෑම විටම රඳා පවතින්නේ සරල නමුත් බලගතු දර්ශනයක් තුළයි. එනම් විශ්වාසනීය හා වටිනාකම් මත පදනම් වූ ජීවිත රක්ෂණ විසඳුම් හරහා අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත හා ඔවුන්ගේ අභිලාෂයන් ආරක්ෂා කිරීම මෙන්ම ඔවුන් අවදානම්වලින් නිදහස් කිරීමේ දර්ශනයයි. ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ලැබුණු මෙම ගෞරවය මගින් තහවුරු වන්නේ අඛණ්ඩතාව, සංවේදනය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය සඳහා අප දැක්වූ කැපවීමෙහි අර්ථාන්විතබව තවදුරටත් ශක්තිමත් වන බවයි.” යනුවෙන් පවසා සිටියේය.

0 comments

Leave a Reply

Post Comment