ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත්යන්ත්‍ර රෙදි ආශ්‍රිත නිර්මාණ සන්නාමයක් වන Barefoot සහ නෙදර්ලන්තයේ පිළිගත් ගෘහ අලංකරණ නිර්මාණ සන්නාමයක් වන POLSPOTTEN, 2025/2026 වසරේදී එළිදැක්වීමට නියමිත නවතම එකතුවක් සඳහා ප්‍රථම වතාවට එක්ව කටයුතු කරයි.
මෙම සුවිශේෂී සහයෝගීතාව, Barefoot සතු අත්යන්ත්‍ර රෙදි සහ වර්ණ සංකලනය පිළිබඳ විශිෂ්ට ප්‍රවීණත්වය, POLSPOTTEN හි සුවිශේෂි වූ නිර්මාණ ශෛලිය සමග මුසු කරනු ඇත. මෙය ශ්‍රී ලංකාව සහ POLSPOTTEN අතර සිදුවන පළමු හවුල්කාරීත්වය වන අතර, දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග වැඩකිරීමේ Barefoot සතු විශිෂ්ඨත්වය තවදුරටත් පුළුල් වනු ඇත. මෙම නව එකතුව, ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ ගෝලීය විශේෂිත වෙළෙඳපොළ පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සහයෝගීතාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව ක්‍රියාත්මක කෙරෙන යුරෝපා සංගමය – ශ්‍රී ලංකා සම්බන්ධිකරණ වැඩසටහනේ (EU–Sri Lanka Matchmaking Programme) එක් අංශයකි. මෙම වැඩසටහනට යුරෝපා සංගමයට අනුබද්ධ Cultural Relations Platform-CRP විසින් සහාය දක්වයි. දැනුම ලබාදීමේ හවුල්කරුවන් ලෙස University of London (UAL) සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) ද, වැඩසටහන් ප්‍රධානියා ලෙස The Institute of Future Creations (TIFC) ද කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ අත් යන්ත්‍ර රෙදිපිළි සම්ප්‍රදායන්හි ඇති විශිෂ්ඨත්වය සහ ලන්දේසි නිර්මාණවල ඇති නවීනත්වය මෙම එකතුව සඳහා ආභාෂය සපයා ඇත. මෙම එකතුවෙන්, Barefoot හි අත්යන්ත්‍ර රෙදිපිළි, අද්විතීය ගෘහ අලංකරණ සහ අභ්‍යන්තර අලංකරණ නිර්මාණ බවට පරිවර්තනය කිරිමේ නව ප්‍රවේශයන් ගවේෂණය කරනු ඇත.
තවමත් නිෂ්පාදන ක්‍රියාවලියේ පවතින නිර්මාණ මුල් සංකල්ප අනුව හැඩය සහ වර්ණයෙහි ඇති කරන ලද අපූරු සංකලනයක් දැකගත හැකි අතර, ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ ගෝලීය ඉහළ ආදායම්ලාභි පාරිභෝගිකයන් සඳහා ඉදිරිපත් කිරීම මෙහි අරමුණයි.
මෙම සහයෝගීතාව පිළිබඳව POLSPOTTEN හි නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු වන ෂිරාන් ගෝට් අදහස් දක්වමින් පැවසුවේ, "මේ සහයෝගීතාව මඟින් Barefoot හි සුවිශේෂී රෙදි විවිමේ සම්ප්‍රදාය නව දෘෂ්ටිකෝණයකින් ගවේෂණය කිරීමට අපට අවස්ථාවක් ලැබෙනවා. අපි සුවිශේෂි වූ නිර්මාණ අනන්‍යතාවයන් දෙකක් එකට ගෙන එනවා. ඉන් එකක් ලන්දේසි සෞන්දර්යය මත පදනම් වන අතර, අනෙක ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර කර්මාන්තයේ නිපුණත්වය සහ වර්ණ සංකලනයේ ප්‍රවීණත්වය මත පදනම් වෙනවා. නිර්මාණාත්මක නවෝත්පාදනය සඳහා ඇති හැකියාව ඇත්තෙන්ම විශ්මයජනකයි." යනුවෙනි.
Barefoot ආයතනය සම්බන්ධයෙන් ගත්විට මෙය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව Barefoot හි සොෆියා සැන්සෝනි ප්‍රකාශ කළාය. "POLSPOTTEN සමඟ වැඩ කිරීම ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි නව නිර්මාණාත්මක ක්ෂේත්‍රයකට ගෙන යාමට ලැබෙන අවස්ථාවක්. පිළිගත් ලන්දේසි ගෘහ අලංකරණ සන්නාමයක් සමඟ අප සහයෝගයෙන් කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල නියැලීමෙන් ලද අත්දැකීම් මේ සඳහා ඉවහල් වුණා. අපගේ ශිල්පීන්ගේ කුසලතාවන් ඉහළ මට්ටමේ නිර්මාණ චින්තනය සමඟ සංකලනය වූ විට ඔවුන් අතින් නිමවෙන නිර්මාණවල සුවිශේෂිතවය ලෝකයට පෙන්වීමට ලද මහගු අවස්ථාවක් ලෙස අප මෙය දකිනවා." යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Barefoot සහ POLSPOTTEN යන සන්නාම දෙකම ශිල්පීය හැකියාව, වර්ණ සහ පසුබිම් කතන්දර නිර්මාණය පිළිබඳව ප්‍රවීණත්වයක් උසුලන බව EU/EDB වැඩසටහනේ ව්‍යාපෘති ප්‍රධානි සහ TIFC හි සම-නිර්මාතෘ රොබට් මීඩර් පැවසීය.
"මෙය හුදෙක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරිමක් පමණක් නොව, නිර්මාණකරණය මූලික කරගත් සංස්කෘතික හුවමාරුවක් සහ ශ්‍රී ලංකාවේ අත්කම් නිර්මාණ ඉහළම මට්ටමින් ඇගයීමට ලක්විය හැකි වෙළෙඳපොළ තුළ ඒවා ඔසවා තැබීමක්" බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
නෙදර්ලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනී බොනී හෝර්බැක්, Barefoot හා POLSPOTTEN අතර සාකච්ඡා ආරම්භ කිරිම සඳහා පුරෝගාමී වූ අතර, මෙවැනි හවුල්කාරිත්වයන්හි උපායමාර්ගික වටිනාකම අවධාරණය කළාය.
"මෙවැනි ව්‍යාපෘති; ශිල්පීන්, වෙළෙඳපොළ සහ අවස්ථා සම්බන්ධ කරන ව්‍යාපෘතින් වන අතර ඒවා වෙළෙඳාම, නිපුණතා සංවර්ධනය සහ සංස්කෘතික හුවමාරුව සඳහා දොරටු විවර කරන අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරනවා. මෙවැනි සහයෝගීතාවක් සාර්ථක වූ විට එහි ප්‍රතිඵල ප්‍රදර්ශනාගාරයෙන් ඔබ්බට විහිදෙනවා." යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
2025/2026 වසරේදී එළිදැක්වීමට නියමිත මෙම Barefoot හා POLSPOTTEN නිර්මාණ එකතුව, සන්නාම දෙකක එකතුවකට වඩා ශිල්පීය හැකියාව, නිර්මාණශීලීත්වය සහ සංස්කෘතික සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීමක් වනු ඇත. ඒ අතර මෙමගින් ශ්‍රී ලංකාවසහ නෙදර්ලන්තය ගෝලීය නිර්මාණ ක්ෂෙත්‍රයේ ප්‍රමුබස්ථානයක තැබීමට මෙය උපකාරි වනු ඇත.
Leave a Reply