නවීන තාක්ෂණය තුළින් සැබෑ ලෝකයේ ගැටලුවලට නව්‍ය විසඳුම් නිර්මාණය කිරීම උදෙසා තරුණ දරුවන් දිරිමත් කිරීමේ වැඩසටහනක් සඳහා කොමර්ෂල් බැංකුව සහාය ලබාදී තිබේ. තාරුණ්‍යයේ අභිලාශයන් බලගැන්වීම හා ඔවුන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම තවත් ඔප්නංවමින් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් Coolest Projects ශ්‍රී ලංකා 2025 වැඩසටහන සාර්ථකව පැවැත්විණි.

කොමර්ෂල් බැංකුව සහ Raspberry Pi පදනම එක්ව STEMUP අධ්‍යාපනික පදනම විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට දිවයින පුරා ඉදිරිපත් කරන ලද අයදුම්පත් 200කට අධික සංඛ්‍යාවකින් තෝරාගත් කැපී පෙනෙන ව්‍යාපෘති 100ක් එක්විය. මෙමගින් ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන්, තාක්ෂණික දැනුම, සහ ගැටළු විසඳීමේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් ලැබුණි.

Raspberry Pi පදනමේ නිලධාරීන් හා රටවල් 20කට අධික සංඛ්‍යාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහනට ජාත්‍යන්තර වැදගත්කමක් ලබාදෙමින් එම නිලධාරීන් දරුවන් සමඟ සෘජුව ම සම්බන්ධ වී තාක්ෂණික නවෝත්පාදනයේ අනාගතය පිළිබඳව ඔවුන්ගේ ඉදිරි දර්ශනය බෙදාහදා ගන්නා ලදී.

“තරුණ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතාවයන් වලට සහය වීමෙන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට කොමර්ෂල් බැංකුවේ අපි අපේක්ෂා කරමු,” යැයි බැංකුවේ නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා පැවසීය. “Coolest Projects වැනි වැඩසටහන් හරහා තරුණ දරුවන්ට තම අනාගතය හැඩගස්වා ගැනීමට හා සමාජයට ධනාත්මක දායකත්වයක් ලබාදීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ දිරිගැන්වීම ලබාදෙයි. එවන් නවෝත්පාදනයේ ගමනකට මෙසේ සහාය වීමට ලැබීම අපට භාග්‍යයකි.”

ගෝලීයව පිළිගත් මෙම Coolest Projects වැඩසටහන මගින් සිසුන්ට එදිනෙදා අභියෝග හඳුනා ගැනීමටත්, තාක්ෂණය හරහා ඒවාට නව විසඳුම් යෝජනා කිරීමට අවස්ථාව ලබාදෙයි. මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවති වැඩසටහනේදී කෘත්‍රිම බුද්ධිය, රොබෝ විද්‍යාව, තිරසාරභාවය, ඩිජිටල් නිර්මාණකරණය සහ ජංගම යෙදුම් යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යාපෘති ඉදිරිපත් විය. නවෝත්පාදනයන් සැමරීමට අමතරව, විශ්වාසය, කණ්ඩායම් හැඟීම මෙන්ම ව්‍යවසායකත්ව හැකියා වර්ධනය කිරීමට ද මෙම වැඩසටහන තුළින් සහභාගී වූවන් දිරිමත් කෙරුණි.

0 comments

Leave a Reply

Post Comment