ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු සම්මත ප්‍රසම්පාදනනයෙන් තොරව මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතිනසන්නද්ධ ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳ පොළ මේ වන විට දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත. ශ්‍රී ලංකාව ආනයනික ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු මත සම්පුර්ණයෙන්ම යැපෙන බැවින්, එම තත්ත්වය රටේ බලශක්ති සැපයුමට සහ සුරක්ෂිතතාවට සෘජු හා ක්ෂණික බලපෑමක් සිදු කර තිබේ.

පවතින ගැටුම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස නැව්ගත කිරීම් අවලංගු වීම, රක්ෂණ සේවා සපයන්නන් රක්ෂණාවරණ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම, සැපයුම්කරුවන් දිගුකාලීන ගිවිසුම් වලට එළඹීමට අකමැත්තක් දැක්වීම ආදී හේතූන් මත අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා තාවකාලික සහ නම්‍යශීලී ප්‍රසම්පාදන රාමුවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

ඒ අනුව, ඉදිරියේදී පැන නැගෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසමින්, මාස 03 ක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පරිබාහිරව ඛනිජතෙල් හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

0 comments

Leave a Reply

Post Comment