ප්‍රතිමුඛ ආයෝජන පිළිබඳ යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ, දේශීය සමාගම් සඳහා විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා වැඩි කළ සීමාවන් හඳුන්වා දීම ඇතුළු ක්‍රියාවලීන් විධිමත් කිරීම ඇතුළත් නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා සැලකිල්ලට ගන්නා ලදී.
 
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2025.06.18 දින අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගය මෙහිදී සළකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ අනුමතිය හිමිවිය.
 
 පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.07.29 දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
 
මේ අනුව කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට ඇ.ඩො 750,000 දක්වා ඉහළ නංවා ඇති අතර ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට ඇ.ඩො 200,000 දක්වා වැඩි කර ඇත. මෙම සීමාවන් ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඇ.ඩො මිලියන 2 ක් දක්වා ණය ලබාගත හැකි අතර ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වේ.
 
අදාළ අරමුදල් විදේශයන්ට මාරු කිරීමට පෙර සියලුම ප්‍රතිමුඛ ආයෝජන ශ්‍රී ලංකාවේ නම් කරන ලද ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් (Outward Investment Account - OIA) හරහා යොමු කළ යුතුය. අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව සමාගම්වලට මෙම ගනුදෙනු ඉක්මනින් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට අවසරය ලබා දී ඇත.
 
රැස්වීමට සහභාගී වූ නිලධාරීන් අවධාරණය කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාර, විශේෂයෙන් තාක්‍ෂණික හා මෘදුකාංග ක්ෂේත්‍ර ජාත්‍යන්තරව පුළුල් කිරීම දිරිගැන්වීම අරමුණු කරගෙන මෙම සංශෝධන සිදුකර ඇති බවයි. පෙර පැවති සීමාවන් නිසා සමහර සමාගම් මෙරට හැරයාමට පෙළඹෙන තත්ත්වය හමුවේ මෙම වෙනස්කම් සිදුකර ඇත.
 
මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් කෙටි කාලීන සැපයුම්කරු ණය ජංගම ගිණුම් ගනුදෙනුවක් ලෙස වර්ගීකරණය කර ඇති බවත්, අමතර සීමාවන් නොමැති බවත් සහතික විය. 
 
2025.06.30 දින අංක 2443/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 35 වන වගන්තිය යටතේ කරන ලද නියෝගය ද කාරක සභාව විසින් සලකා බලන ලදී. දීර්ඝ සාකච්ඡාවකින් පසුව අදාළ නියෝගය සඳහා අනුමැතිය ලබා දීම සිදුවිය.
 
වාහන ආනයනය කිරීමට ජාත්‍යන්තර ණයවර ලිපි (Cross-border LC) සහ ලියාපදිංචිය ඉවත් කිරීමේ අවශ්‍යතාව (de-registration requirements pertaining to the importation of vehicles) කමිටුව විසින් සමාලෝචනය කරන ලදී. තවද, සූදු ක්‍රීඩා නියාමන අධිකාරිී පනත් කෙටුම්පත සහ ඊ-වාණිජ්‍ය බදුකරණය සහ අදාළ කරුණු සඳහා යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳව ද කමිටුව විමසා සිටියේය.
 
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 35 වන වගන්තිය යටතේ ඇති රෙගුලාසිය මගින්, රාජ්‍ය හිමිකාරී ව්‍යවසායන් (SOEs) සඳහා නව රාමුව යටතේ ජාත්‍යන්තර ණය ගැනීම් සඳහා පවතින සීමාවන් ඉවත්වීම සිදුවේ. භාණ්ඩාගාරයෙන් ස්වෛරී ඇපකර සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හඳුන්වා දුන් මෙවලම් භාවිතා කරමින් පරීක්ෂණවලට භාජනය විය යුතුය. මෙම යාන්ත්‍රණය ණයහිමියාගේ පොලී අනුපාතවලට අමතරව අවදානම් වාරික තීරණය කරන අතර, එමඟින් ණය ගැනීම වඩාත් මිල අධික වන බවත් රාජ්‍ය ව්‍යවසායන් අතර මූල්‍ය විනය ප්‍රවර්ධනය කරන බවත් මෙහිදී සාකච්ඡා විය. 
 
රාජ්‍ය ණය කළමනාකරණ පනත මත පදනම්ව, ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිත ණය ගැනීමේ සීමාවෙන් 7.5% ක් යටතේ ක්‍රියාත්මක වන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් ආසන්න වශයෙන් 5% ක් දැනටමත් භාවිතා කර ඇති බව නිලධාරීන් තවදුරටත් සඳහන් කළේය. මේ අනුව ඉදිරි වර්ධනය සහ සංවර්ධන මූල්‍යකරණය සඳහා ණය ගැනීමේ ධාරිතාවයෙන් 2.5% ක පමණක් ඉතිරිව තිබේ.
 
වාහන ආනයනය සඳහා ජාත්‍යන්තර ණයවර ලිපි (LC) අවශ්‍යතා පිළිබඳ යාවත්කාලීන කිරීමක් පිළිබඳව ද අවධානය යොමු විය. දේශසීමා ණය යටතේ ආනයනය කරන ලද සියලුම වාහන නැවත අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව භාණ්ඩාගාර නිලධාරීන් කමිටුවට දැනුම් දුන් අතර, මෙම තීරණය දැනට නීතිය ඉදිරියේ අභියෝගයකට ලක්ව ඇති බවත් අනාවරණය විය.
 
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිී පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, ලොතරැයි සූදුවක් වන බැවින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුව තුළට ඇතුළත් විය යුතු බව පෙන්වා දුන්නේය.
 
ඊ-වාණිජ බදුකරණ පද්ධතියට අදාළ ගැටලු විසඳා ඇති බව පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළහ. HS කේත පදනම් කරගත් බදුකරණයට නැවත මාරුවීම නිසා ඇති වූ ප්‍රමාදයන්ගෙන් පසුව මෙහෙයුම් මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවන බව ඔවුහු ප්‍රකාශ කළහ. 
 
 

0 comments

Leave a Reply

Post Comment