වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවට අදාළ  චක්‍රලේඛය මේ මස 28 වැනි දින වන විට නිකුත් නොකළ හොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ මස 28 වැනි දින වන විට අදාළ ගැටලුව විසඳීමට කටයුතු නොකළ හොත් මේ මස 30 වැනි දින හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තිබෙන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  සඳහන් කළේය.
 මධ්‍යම කාරක සභා රැස්වීමේදී  දැනෙන තීන්දු  ගැනීමට නියමිත නිසා මේ මස 28 වැනි දිනට පෙර  අමතර රාජකාරි දීමනා ගැටලුව විසඳීම සඳහා නිවැරදි චක්‍ර ලේඛයක් නිකුත් කළ යුතු බවද ඔහු පැවසීය.

මේ වන විට රෝහල් පද්ධතියෙහි ඖෂධ හිඟයක්ද නිර්මාණය වී තිබෙන බවත් එම ගැටලුවට තවමත් විසඳුම් ලැබී නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ පළමු අයවැය ලේඛනය අනුව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සහ නිවාඩු දින දීමනා අගයන් කප්පාදු කළ බවත් තම සංගමය විසින් සිදු කරන ලද වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්ත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් ඔහු පවසා සිටියේය.

ඒ අනුව අයවැය ලේඛනයට   ජනාධිපතිවරයා විසින්ම සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛය 2023.03.25 නිකුත් කළ බවත් එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් 2025.04.28 දින නිකුත් කළ බවත් හෙතෙම සඳහන්  කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයේ වැරදි සහ දෝෂ ගණනාවක් නිරීක්ෂණය වූ බවත්,එහිදී අමතර රාජකාරි දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වූ බවත් ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර, 2025.04.29දින සෞඛ්‍ය  අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වුවත් තවමත් අදාළ චක්‍ර ලේඛය නිකුත් කර නොමැති  බවත් ඔහු පැවසීය.

 

0 comments

Leave a Reply

Post Comment