​කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන 'යාය වැඩසටහන' තුළ වර්තමානයේ පවතින ප්‍රධානතම අභියෝගයක් වන්නේ යන්ත්‍ර සූත්‍ර මගින් ගොයම් කැපීමේදී සිදුවන අධික අස්වැන්න හානියයි. නිසි ක්‍රමවේදවලින් බැහැරව අස්වනු නෙලීම හේතුවෙන් අක්කරයකට බුසල් 5ත් 10ත් අතර ප්‍රමාණයක් අපතේ යන බව හඳුනාගෙන ඇති අතර, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ මූලික අභිප්‍රාය ඇතිව අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය විසින් විශේෂ දීප ව්‍යාප්ත පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි යන්ත්‍ර හිමියන් සහ ක්‍රියාකරුවන් පුහුණු කරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

​මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ප්‍රථම අදියර පසුගිය (28) වන දින අම්පාර දිස්ත්‍රික්කයේ පේරන්කඩ ගොවි පුහුණු මධ්‍යස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. අනුරාධපුර ගොවිපල් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතාගේ සෘජු මෙහෙයවීමෙන් සහ නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවයෙන් මෙම පුහුණුව ක්‍රියාත්මක විය.

 මෙහිදී අස්වැන්න හානි වීම අවම කර ගනිමින් යන්ත්‍ර ක්‍රියාකරවන ආකාරය සහ තාක්ෂණික නඩත්තුව පිළිබඳව යන්ත්‍ර හිමියන් සහ ක්‍රියාකරුවන් දැනුවත් කෙරුණු අතර, මෙය ජාතික අස්වැන්න ඉහළ නැංවීමට මෙන්ම ගොවියාගේ ආර්ථිකය සුරක්ෂිත කිරීමට ලැබුණු මහඟු පිටුවහලකි.

​වාර්තාව - ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය

 

0 comments

Leave a Reply

Post Comment