දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී මීට මාස හතරක පෙර වෙඩි තබා ඝාතනය කල යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයෙකු මහ මුහුද මැදදී ඝාතනය කිරීම සදහා ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස් උපකරණය සවි කර තැබීම පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.

අදාල විද්‍යුත් තාක්ෂණික උපකරණය සවි කිරීම තුලින් ඔවුන් මුහුදේ සිටින ස්ථානය පහසුවෙන් හදුනා ගැනීමට සැකකරුවන් උත්සාහ කර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

එම බෝට්ටුවේ එන්ජිම අසල යට ඉතා රහසිගතව සවි කර තිබු ජී පී එස් තාක්ෂණිය උපකරණය හා සිම් පත යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයා දැක පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව උපකරණය පොලීසිය භාරයට ගෙන සිද්ධිය සම්බන්ධව අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමග ඔවුන් රැකියාව සදහා මුහුදු යාම නතර කොට නිවසට වී සිටී.එම පවුලේ ආරක්ෂාව සදහා පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.

ඉකුත් මාර්තු මස 21 වැනි දින රාත්‍රි යොමේෂ් නදීෂාන් හා ඔහුගේ මිතුරකු වු පසිදු තාරුක යන දෙදෙනා දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

දෙවිනුවර පෙරහැරේ සිදුවු කාවඩි ආරවුලක් හේතු කර ගෙන ඩුබායි හී සැගවී සිටින දෙහි බාලේ මල්ලී නැමැත්තා රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවා තිබු බවට විමර්ශන වලදී අනාවරණය විය.

කෙසේ වෙතත් එම තරුණයින් දෙදෙනාගේ තුන් මාසයේ පිංකම වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැලක් දුන් ගන්දර කපුගම පිහිටි මිතුරකුගේ නිවසකට ද පෙරේදා (03) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඉන් එම මිතුරාගේ පියාට සුලු තුවාල සිදු වී තිබුණි.

එම අපරාධය ද ඩුබායි හී සැගවී සීටින දෙවිනුවර දෙහි බාලේ මල්ලී නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.

දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ ගන්දර පොලීසියේ ස්ථානාධිපති චාමින්ද ජයලත් මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

 

0 comments

Leave a Reply

Post Comment