ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , 06/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එරටින්  පිටුවහල් කර එවා තිබේ.

මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැගවී සිටින අතරතුර , මැදපෙරදිග යුද්ධයේ දී , ඉරානය විසින් ප්‍රහාර සදහා භාවිතා කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ජායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල රදවා තබා ගෙන සිටියදී , එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , බන්ධනාගාර ගත කර , පසුව , මෙසේ මෙරටට  පිටුවහල් කර එවා තිබේ.

මොවුන් අතරින් එක් අයෙකු කපුරු බණ්ඩාරගේ දොන් චතුර දිල්රුක්ෂාන් නොහොත් මෝදර නිපුනගේ මල්ලී නොහොත් මෝදර චතුර වේ . කොළඹ 15 , මෝදර මාවතේ පදිංචි මොහු 25 හැවිරිදි අයෙකි .

අනෙක් පුද්ගලයා රණසිංහ ආරච්චිගේ සංඛ ශිරාන්ත නොහොත් බ්ලුමැන්ඩල් සංඛ නැමති  අයෙකි . 41 හැවිරිදි ඔහු කොළඹ 15 , හේනමුල්ල හරස් වීදියේ පදිංචිකරුවෙකි . බ්ලූමැන්ඩල් සංඛ , රණසිංහ ආරච්චිගේ රුවන් චාමර නමින් එන්.8739521 අංක දරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් විදේශ ගත වී තිබුණි .

 මොවුන් දෙදෙනා 06/13 දින රාත්‍රී 08.58 ට අබුඩාබි නුවර සිට, එයාර් ඒෂියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව , මෝදර චතුර , 06/14 දින අලුයම කොළඹ , නාරාහේන්පිට , මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගියේය . 

බ්ලූමැන්ඩල් සංඛ  ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගෙන , ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර , කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය .

0 comments

Leave a Reply

Post Comment