“යම් අරමුණක් වෙනුවෙන් තියන නොපසුබස්නා උත්සාහය සහ කැපවීම අනිවාර්යයෙන්ම අපිව සාර්ථකත්වයට පත්කරනවා” මේ අපූරු කතාව කියන්නේ බරයන්ත්‍ර (Heavy Machine) පිළිබඳ තිබුණු උනන්දුව නිසාම එස්කැවේටර් යන්ත්‍රයක් තනිවම හදපු තරුණයෙක්. ඔහු Bushitha Heavy machinery engineers (pvt).Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ භූෂිත සෙහාන් ගීකියනගේ. බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය තුළ අලුත් දේ කරමින් ලංකාවේ සන්නාමයක් බිහිකරන්න ඔහු දරන උත්සාහය වගේම ඔහුගේ මේ නිර්මාණය ගැන කතා කරන්න අපි ඔහුව සොයාගෙන ගියා.


"මගේ ගම පානදුර. පාසල් ගියේ වේල්ස් කුමර විද්‍යාලයටයි හොරණ තක්ෂිලා විද්‍යාලයටයි. දැනට පුද්ගලික විශ්වවිද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරන ගමන් පුද්ගලික ආයතනයක පුහුණු වෙනවා. මට හෙවි මැෂින් වලට පුංචි කාලේ ඉඳලා ආසාවක්  තිබුණා. ඒක ලොකුවට දැනුණේ මගේ 11 වැනි උපන්දිනේ දවසේ ඉඳලා. මට උපන්දිනේට තෑග්ගකට ලැබුණා. ඒක එස්කැවේටර් එකක ආකෘතියක්. ඒකට මං ගොඩක් ආස කළා. අතනින් පස්ෙස බර යන්ත්‍ර ගැන මගේ ලොකු උනන්දුවක් තිබුණා.

ආසාව නිසාම මම 6 වසරේ ඉද්දි රෙජිෆෝම්, ඇන්ටනා බට, පෑන්බට පාවිච්චි කරලා එස්කැවේටර් ආකෘතියක් හැදුවා. එතනින් පස්සේ 7, 8 පංතිවලදී ඒ ආකෘතිය මම ලී සහ සිලින්ජර්ස් පාවිච්චි කරලා හැදුවා. සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළාට පස්සේ මට ආයෙත් ආසාවක් ආවා මේ ආකෘතිය ඇත්ත එකක් විදිහටම යකඩ පාවිච්චි කරලා හදන්න. මම ඊට පස්සේ යකඩ කෑලි හොයාගෙන, හයිඩ්‍රොලික් සිස්ටම් එකකුත් යොදාගෙන දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන විදිහට හැදුවා. ඒ නිර්මාණය ගොඩක් සාර්ථක වුණා. ඒක තමයි ඇත්තම එස්කැවේටර් එකක් හදන්න මට පදනම වුණේ.

යකඩ පාවිච්චි කරලා හදපු එස්කැවේටර් සාර්ථක වුණාට පස්සේ මගේ හිතේ තිබ්බා ඇත්ත එකකුත් කවදා හරි හදන්න ලොකු උවමනාවක්. උසස් පෙළ විභාගයත් ඉවර කළාට පස්සේ එස්කැවේටර් එකක් හදනවා කියලා ගෙදරට කිව්වාම ගෙදරිනුත් ගොඩක් උදව් කළා. මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව වුණත් ආසාව නිසාම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මම තීරණය කළා. ඒවගේම මුල ඉඳලම මට ඕන වුණේ සාමාන්‍ය තවත් එක එස්කැවේටර් එකක් හදන්න නෙවෙයි. බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රය ඇතුළේ වෙනසක් සහ අලුත් නිර්මාණයක් කරන්නයි මට නිතරම අවශ්‍ය වුණේ. ඒ නිසා මම මුලින්ම කළේ දැනට භාවිත වෙන එස්කැවේටර් යන්ත්‍රවල සහ ඒවා භාවිතයේදී තියෙන දුර්වලතා මොනවාද කියලා හොයපු එක. 

සාමාන්‍ය එස්කැවේටර් එකක සමබරතාව පවත්වාගෙන යන්න පාවිච්චි කරන අංගයක් තමයි 'කවුන්ටර් වේට්' කියන්නේ. කවුන්ටර් වේට් කියන කොටස පාවිච්චි වෙන්නේ වැඩක යෙදෙන අවස්ථාවක විතරයි. මේ කොටස සාමාන්‍යයෙන් 600kg ක පමණ බරකින් යුක්ත වෙනවා. වැඩක් නොකරන වෙලාවටත් යන්ත්‍රය මේ කවුන්ටර් වේට් කියන කොටසේ බර දරාගෙන ඉන්න නිසා වක්‍රව මැෂින් එකේ කාර්යක්ෂමතාවට, ඉන්ධන පිරිමැස්මට බලපෑමක් වෙනවා.

දීර්ඝකාලීනව ඒක එස්කැවේටර් එකේ පැවැත්මට යම් බලපෑමක් වෙනවා. ඒ නිසා මම මගේ එස්කැවේටර් එක හැදුවේ කවුන්ටර් වේට් එකේ බර හරි අඩක් අඩු කරලා 300kgක් වෙන විදිහට. එස්කැවේටර් එක වැඩකරද්දී සමබරතාව හදාගන්න ඒ කිලෝ 300ක බර ප්‍රමාණය පිහිටන දුර වෙනස් කරලා අර 600kgන් එන බලය ලබා ගන්නවා. මේ නිසා එස්කැවේටර් එකේ ඉන්ධන පිරිමැස්ම සහ කාර්යක්ෂමතාව වැඩි කරගන්න හැකියාව ලැබී තියෙනවා.

ඒ වගේම සාමාන්‍ය එස්කැවේටර්වල බූම් කියන කොටසේ තියෙන්නේ ස්ථිර දිග ප්‍රමාණයක්. ඒක වෙනස් කරන්න හැකියාවක් නැහැ. නමුත් මගේ නිර්මාණයේ බූම් එකේ දිග ප්‍රමාණය අවශ්‍ය ආකාරයෙන් පහසුවෙන් වෙනස් කරගන්න හැකියාව තිබෙනවා. ඊට අමතරව එස්කැවේටර් එකේ කුල්ලේ හැඩය සහ ධාරිතාව වැඩි කරලා විශේෂ ක්‍රමයකට හැදුවා. මේ විදිහට තවත් වෙනස්කම් ගණනාවක් කරලා එස්කැවේටර් එකේ කාර්යක්ෂමතාව වැඩි කරමින් සාර්ථක නිර්මාණයක් කරන්න මට හැකියාව ලැබී තියෙනවා."

මේ වගේ නිර්මාණයක් කරන්න බර යන්ත්‍ර පිළිබඳ තනිවම ඉගෙන ගත්ත විදිහ ගැන භූෂිත කියන්නේ මෙවැනි කතාවක්.

"ඇත්තටම එතන ගොඩක්ම තියෙන්නේ තනියම හොයලා බලලා ස්වයං අධ්‍යයනයන්ගෙන් ලබාගත්ත දැනුමක්. අන්තර්ජාලයේ වුණත් මේ ගැන තියෙන්නේ සාමාන්‍ය මූලික තොරතුරු සහ සිද්ධාන්ත විතරයි. සෛධාන්තික වගේම ප්‍රායෝගික දැනුම ලබාගෙන ගැඹුරටම මේ ගැන ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා. 

මම දැනට එස්කැවේටර් යන්ත්‍රවල අවශ්‍යතාව තියෙන අය වෙනුවෙන් එයාලගේ අවශ්‍යතාව සහ ප්‍රාග් ධනය අනුව එස්කැවේටර් යන්ත්‍ර සැලසුම් කර නිර්මාණය කරලා දෙන සහ නඩත්තු කරදෙන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. දැනට එවැනි ව්‍යාපෘති කිහිපයක් සැලසුම් කර වැඩකටයුතු කරගෙන යනවා.
සංවර්ධන කටයුතු බහුලව සිදුවෙන රටක් විදිහට ලංකාවට මෙවැනි යන්ත්‍ර විශාල වශයෙන් පිටරටින් ගෙන්වනවා. මේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා.

මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මේවා නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා වගේම සාමාන්‍ය එස්කැවේටර් එකකට වඩා තව තවත් දියුණු තාක්ෂණයක් සහිතව වැඩ කරන්න මේක නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. කර්මාන්තයක් විදිහට දේශීය වශයෙන් එස්කැවේටර් නිෂ්පාදනය සිදු වුණොත් ඒවා අපනයනය කරලා විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් අපිට උපයා ගන්නත් හැකියාව තියෙනවා.

ඉදිරියට තවත් කරන්න බලාපොරොත්තු වැඩකටයුතු මොනවාද?

මගේ ඊළඟ ඉලක්කය තමයි ක්‍රේන් යන්ත්‍රවල අඩුපාඩු හඳුනාගෙන තවත් දියුණු කරලා අලුත්ම ක්‍රේන් එකක් නිෂ්පාදනය කරන එක. ඊට අමතරව දැනට භාවිත වෙන එස්කැවේටර් යන්ත්‍ර වැඩිදියුණු කරන්න වගේම පුළුවන් අමතර කොටස් නිෂ්පාදනය කරන්නයි.

ඔබේ ගමනට උදව් කරපු පිරිස් ගැන මතක් කළොත්?

අනිවාර්යයෙන්ම, මුලින්ම ස්තුති කරන්නේ මගේ පවුලේ අයට. එයාලා මාව විශ්වාස කළා ගොඩක්. ඒ විශ්වාසය, ආශිර්වාදය නිසයි මෙහෙම ගමනක් එන්න පුළුවන් වුණේ. එස්කැවේටර් එක හදන්න වැයවුණු මුදල මට ලැබුණේ ගෙදරින්. ඒ වගේම වචනයකින් හරි මට උදව් කරපු හයියක් වුණු නම් වශයෙන් කියලා ඉවර කරන්න බැරි විශාල පිරිසක් ඉන්නවා මේක පිටිපස්සේ. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

නඳුන් ශ්‍යාමල්

3 comments

Champa

06 years 06 months 23 days 11 hours 53 minutes 39 seconds ago

කතාව ඇත්ත. නිකම් නිස්කාරනේ මුදල් වියදම් කරලා මේ යන්ත්‍ර පිට රටින් ගෙන්වනවා. හලෝ ආණ්ඩුව, මේ තරුණයාට රජයෙන් අවශ්‍ය අනුග්‍රහය මොකක්ක්ද කියලා අහල ඒ පහසුකම් ලබා දෙන්න. තනියම ඉගෙන ගෙන මේ වගේ දෙයක් කරන්න මේ තරුණය හුඟක් ලොකු දක්ෂතාවයක් තියෙන කෙනෙක්. නව නිර්මාණ සහ සොයා ගැනීම් වලට අමාත්‍යංශයක් තියෙනව නේද? මීට පස්සේ මේ යන්ත්‍ර වැඩි දියුණු කරන්න අවශ්‍ය නම් එහෙම කරව ගෙන මේ කියන බර යන්ත්‍ර පිටරටින් ගෙන්වන එක නවත්තලා මේ තරුණයාට ඒ purchase orders දෙන්න. පුතා, ඔයා මේක කියැව්වොත්, excavators වලට කෙලින්ම අදාළ නොවුනත්, පුළුවන් නම් garbage crushers කියන එකක් හදන්න. මීතොටමුල්ල ප්‍රශ්නේ දවස් වල එක තරුණයෙක් එහෙම එකක් හදල තිබුන කොළ පාට ගාපු. ඊට පස්සේ ඒ ගැන මම මුකුත් දැක්කේ නැහැ. තව garbage sorting machines සහ balers වගේ දේවල් හදන්න පුලුවන්ද බලන්න. මම නිකම් කියන්නේ. කවුද දන්නේ අනාගතේ දවසක කවුරු හරි ඒවා ගනියි.

Reply

Champa

06 years 06 months 23 days 11 hours 53 minutes 37 seconds ago

ඇත්තටම මේ වගේ දේවල් අහනකොට අපේ රටේ තරුණයෝ කොච්චර දක්ෂද කියල ආඩම්බර හිතෙනවා. රජයෙන් අත හිත දෙනවා නම් කෝටි ගණන් පිටරට වලට දෙන සල්ලි අපේම රටේ නිෂ්පාදනය කරන යන්ත්‍රෝපකරණ වලට වැය කරන්න පුළුවන්.

Reply

rocky

06 years 06 months 22 days 16 hours 57 minutes 15 seconds ago

විදේශවලින් භාණ්ඩ ගෙන්නන කොට රජ සැපට කොමිස් ගහන්න පුළුවනි. මේ හාදය ඒ චාන්ස් එකටත් කටුව ගහන්න වගෙයි හදන්නේ. කොමිස් ගැහිල්ල් අපේ ප්‍රගතිසීලී දේශ ප්‍රේමීන්ගේ මානව අයිතියක්. ඒ නිසා යන්ත්‍රෝපකරණ මේ රටේම නිෂ්පාදනය කිරීම තහනම් කල යුතුයි. ඕන රටකට ගිහින් ඕවා හදා ගන්න කියල මෙවැනි තරුණයන් රටින් පිටුවහල් කිරීම සුදුසුයි!

Reply

Leave a Reply

Post Comment