චීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ (03දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එවා තිබුණි.

මෙම ඖෂධ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ( Qi Zhenhong ) , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම ඖෂධ තොගය චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

"අප මේ අසීරු අවස්ථාවේ අපට අත්‍යාවශ්‍ය වී තිබෙන ඖෂධ වල ලේඛනයක් අපගේ මිත්‍රශීලී රටවල් වෙත යොමු කළා. එයට ප්‍රතිචාර දැක්වූ විවිධ රටවල් අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් අපට ඖෂධ ලබා දීමට ඉදිරිපත් වී තියෙනවා.

ඒ අතරින් චීනය වඩාත් කැපී පෙනෙන ආකාරයට අධාර කිරීමට ඉදිරිපත් වී තියෙනවා. කවදත් චීනය අපට අසීරු අවස්ථා වලදී අප හා අත්වැල් බැද ගනිමින් උදව් උපකාර කර තිබෙනවා 

විශේෂයෙන්ම පසුගිය කොරෝනා සමයේ අපට අවශ්‍ය එන්නත් සහ උපකරණ ලබා දෙමින් චීන රජය , එරට ජනතාව ශ්‍රී ලාංකික අපට සහයෝගය ලබා දී තිබෙනවා" යැයි  පැවැසීය.

ඖෂධ තොගය හොංකොං සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 3119 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

0 comments

Leave a Reply

Post Comment