මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන් වෙත අද (02) උපදෙස් ලබා දුන්නේය.

ලොව පුරා රටවල් රැසක් මෙම දරුණු ව්‍යසනය හමුවේ දැඩි අර්බුදයකට ලක් වූ තත්ත්වයන් තුළ සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය හරහා එය අපට පාලනය කර ගැනීමට හැකි වූ අයුරින්ම එම ක්‍රමවේදයන් ඉතා සක්‍රීයව ක්‍රියාත්මක කළ යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොවිඩ්, ඩෙංගු ඇතුළු මේ වන විට රට තුළ පවතින සෞඛ්‍ය තත්වයන් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම හදිසි සාකච්ඡාව එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අවධානය ඒ වෙනුවෙන් යොමු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි ද කොවිඩ් වසංගත තත්ත්වයක් යළි රට තුළ ඇති නොවීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. 
එමෙන්ම මේ වන විට රට තුළ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කරමින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

විශේෂයෙන් වසර ගණනකට පසු පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් නැරඹීමට පැමිණෙන පිරිස් සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම පිළිබඳව උපදෙස් දෙමින් දැනුවත් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා යළි ගොඩනැගෙමින් පවතින සංචාරක කර්මාන්තයට ද බාධාවක් නොවන අයුරින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යැයි කීය.

කොවිඩ් , ඩෙංගු තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශයන්හි විශේෂ අවධානය යොමු විය යුතු යැයිද ඒ සඳහා අධ්‍යාපන බලධාරින් සමග එක්ව වැඩපිළිවෙළ සකස් කළ යුතු බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

 

0 comments

Leave a Reply

Post Comment