සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය යන සංගම් වල නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අද (01) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය.

මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු අතර, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවන් කඩිනම් කිරීම, ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම, ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සිදුවන සේවාව ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම වැනි කරුණු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කරමින් මෙහි දී සාකච්ජා කරන ලදී.

එම කාලීන ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ එම අවස්ථාවේ දී ම සාකච්ඡා කර එම ගැටළු කිහිපයක් සඳහා එම අවස්ථාවේ දී ම විසදුම් ලබාදීමට පියවර ගත් අතර අනෙකුත් ගැටළු සඳහා ඉදිරියේ දී මධ්‍ය කාලීන හා දිර්ඝ කාලීන ලෙස විසදුම් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනය කිරීම පිළිබඳව ඔවුන් විසින් යෝජනාවක් මෙහි දී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කල අතර  එම වේලාව සංශෝධනය කිරීම පිළිබඳව පවතින තාක්ෂණික සහ ප්‍රායෝගික මෙන් ම අනෙකුත් කරණු පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහි දී තීරණය කරණු ලැබී ය.ඉතා කෙටි කලකින් එම කමිටුව මඟින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

එමෙන්ම ආහාරවල සුරක්ෂිතතාවය ඇති කිරීම සදහා මේ වන පවතින විවිධ තාක්ෂණික මෙන් ම ප්‍රායෝගික ගැටළු පිළිබදව වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී අමාත්‍යවරයා දැනුවත් කිරීමට ද පියවර ගනු ලැබී ය. එ් පිළිබදව විශේෂ අවධානය යොමුකළ අමාත්‍යවරයා මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවරු කිරීම සදහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ අධීක්ෂණ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර මෙයට විසදුම් ලබාගැනීමට කටයුතු කරන බව ද පැවසී ය. ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර සඳහා අවශ්‍ය කරන සම්පත් ලබා දීමට ද, නව රසායනාගාර ඇති කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී විශේෂ අවධානයක් යොමු කරනු ලැබී ය.

ශ්‍රී ලංකා  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන ගැටළු පිළිබදව මෙහි දී කරුණු ඉදිරිපත් කළ අතර එම ගැටළු විසදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා මෙහි දී පියවර ගනු ලැබී ය.

අනෙකුත් වෘත්තීන් හට බලපෑමක් ඇති නොවන අයුරින් මෙම ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු කරන බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරන වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමෙන් ඔවුන් තෘප්තියට පත්වන බවත්, ඒ තුළින් ඔවුන්ගෙන් කාර්යක්ෂම, ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද මෙහි දී අවධාරණය කර සිටියේ ය.

 

0 comments

Leave a Reply

Post Comment