කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 04 වැනිදා ) නියම කළාය. 

 හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගත්හ. ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය  පැවසුවාය. 

මේ අතර මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා  , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මීට ඉහත මහාධිකරණයෙන් ඇප ලබා මුදා හැර ඇත. 

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ සැරයන් ඩෙන්සිල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය .

මේ නඩුවේ විමර්ශන කටයුතු අවසන්. එහි උධෘත නීතීපතිට යොමු කර තිබෙනවා. දැන් ඒ සම්බන්ධව ඉදිරි ක්‍රීයා මාර්ග ගැනීම සදහා එය අධ්‍යයන කර ගෙන යනවා. මේ නඩුව පවරා තිබෙන්නේ නීතීපතිගේ උපදෙස් මත පොදු දේපල පනත යටතේයි. ඒ නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා. 

සැකකරුවන්  වෙනුවෙන් පෙනි සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය. 

මේ නඩුවේ තම සේවාදායක ප්‍රසන්න රණවීර උණ රෝගයකින් පෙළෙනවා. ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් බන්ධනාගාරය තුල  ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම තම සේවාදායක දොන් සරත් කුමාර එදිරිසිංහ යන අයගේ ව්‍යාපාර කටයුතු වල ලිපි ලේඛණ වලට අත්සන් ලබා ගැනීමට තිබෙනවා. ඒ සදහා අවස්ථාව සලසා දෙන ලෙසට ද ඉල්ලා සිටිනවා. 

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය  විසින් අසනීපයෙන් පසුවන ප්‍රසන්න රණවීර යන අයගේ රෝගි  තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ලබන 18 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නීයෝග කරන බවත් එදිනට දොන් සරත් කුමාර එදිරිසිංහ යන අයගේ ලිපි ලේඛණ  වලට අත්සන් ලබා ගැනීම සදහා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට  නියම කරන ලදී. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය  අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ඩෙන්සිල් මහතා පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ දේශාල් පෝල් මහතා පෙනී සිටීයේය .

මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ

 

0 comments

Leave a Reply

Post Comment