තමා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිටුපස මේ රටේ ප්‍රධාන පක්ෂයක නායකයෙකු සහ ඔහු යටතේ සිටින ඇමතිවරුන් දෙදෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිටි බවත්, වත්මන් ආණ්ඩුවම මෙම සිද්ධියට වගකිව යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (26දා) පැවසූහ.
රජගිරිය ,නාවල පාරේ පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව අනාවරණය කළේය.
එම ඇමතිවරුන් දෙදෙනා සහ ඔවුන්ට ඉහළින් සිටින ප්‍රධාන දේශපාලඥයා අතර පැවැත් වූ සාකච්ඡාවකදී තමා මාස හයකට සිරගත කර ජම්පරය ඇන්දවිය යුතු යැයි තීරණය කර තිබුණු බවත්, බන්ධනාගාර ගතවීමට සතියකට පෙර තමාට එම සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව දැනගන්නට ලැබුණු බවත් ඥානසාර හිමියෝ සඳහන් කළහ.
තමා සිරගත කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ ආරක්ෂක මූලස්ථානයේ නිලධාරියෙකුට උසස්වීම් සහ වරප්‍රසාද ලබාදී තිබෙන බවත් උන්වහන්සේ මෙහිදී කියා සිටියේය.
මහදවල් මහබැංකුව මංකොල්ලකෑමේ සිද්ධියට නායකත්වය ලබාදුන් අගමැතිවරයා භික්ෂූන් වහන්සේලාට ජම්පරය ඇන්දවීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, මංගල සම්මත ඇමතිවරයෙකු මේ රටේ සංස්කෘතිය හා මහා සම්ප්‍රධාය අවමඟුලකට ගෙන යෑම සඳහා කටයුතු කරමින් සිටින බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.
බන්ධනාගාරය තුළදී තමන්ට ජම්පරය අඳින ලෙස එහි නිලධාරීන් පැවසුවද තමා සිදුකර ඇති වරද සහ ලබාදී ඇති දඬුවම දෙස බලන්නැයි එම නිලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත්, සිරකුටියෙන් පිටතට නොයා රැඳී සිටිමින් අඳන කඩය ඇඳ ඊට උඩින් තුවායක් දමාගෙන සිටි බවත් ඥානසාර හිමියෝ පැවසූහ.
මින් ඉදිරියට කිසිදු දේශපාලඥයෙකු විශ්වාස නොකරන බවත්, කිසිදු දේශපාලඥයෙකු පසුපස නොයන බවත්, බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව හා තමන් සකස් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දළදා මාලිගයේ අත තබා දිවුරණ පුද්ගලයෙකු 2020දී ජනාධිපතිවරයා වශයෙන් තෝරාගැනීමට සහය ලබාදෙන බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.
2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් තමන් වහන්සේගේ විහාරස්ථානයේ පූජාවක් පැවැත්වීම නිසා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථානයේ ඉඩම මැදින් විශාල ඇළක් කැපූ බවත්, එම ඇළ වසා දමන්නැයි මහනගර සංවර්ධන ඇමති පාඨලී රණවක මහතාට අවස්ථා 100කදී පමණ පැවසුවද මේ දක්වා ඒ පිළිබඳ සොයා බලා නැති බවත් ඥානසාර හිමියෝ පැවසූහ.
2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් වෙන් නොවී එක්ව ගමනක් යන්නැයි පැවසීමට එම කාලයේදී පාඨලි චම්පික මහතාගේ නිවසට පුරා සති දෙකක් තමන් වහන්සේ වැඩම කළ බවත්, ඒ අනුව කටයුතු කරන බවට පොරොන්දු වී රණවක මහතා අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට වැඩකළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
බොදුබල සේනා සංවිධානය පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සහ 2004 වසරේදී ජාතික හෙළ උරුමය ඇතිකර ගැනීම යන වරදවල් දෙක පමණක් තමන් වහන්සේ අතින් සිදුවුණු බවද එහිමියෝ මෙහිදී වැඩිදුරටත් පවසා සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා