මෙටා සමාගම ඉන්ස්ටග්‍රැම්හි හි දෙමව්පිය අධීක්ෂණ යෙදවුම මෙරටට හඳුන්වා දෙයි


ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙම යෙදවුම මගින් දෙමව්පියන්ට තම දරුවන්ගේ ඉන්ස්ටග්‍රෑම් ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අධීක්ෂණයක් යෙදවීමට හැකියාව ලැබෙන බව පැවසෙයි. මෙම නව විශේෂාංගය වයස අවුරුදු 13 සිට 17 දක්වා නිර්මාණය කර තිබේ. මෙහිදී ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය පූර්ව අනුමත සම්බන්ධතාවලට සීමාවීම, සීමිත පණිවිඩකරණ හැකියාව, සංවේදී අන්තර්ගතයන්ට ප්‍රවේශය පිළිබඳ දෙමාපියන්ගේ පාලනය, අන්තර්ක්‍රියා සීමා පවත්වා ගැනීමේ හැකියාව සහ දෛනික තිර කාල සීමාවන් සැකසීමේ හැකියාව යනාදිය මීට ඇතුළත් වෙයි.

මෙම දෙමාපිය අධීක්ෂණ හැකියාව නුදුරේදීම ෆේස්බුක් සහ මැසෙන්ජර් වැනි අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා වෙතද හඳුන්වා දෙන බව මෙටා සමාගම නිවේදනය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක, මෙටා හි මධ්‍යම ආසියාව හා ශ්‍රී ලංකාව සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී සෙනුර අබේවර්ධන සහ මෙටා හි දකුණු ආසියාවේ රාජ්‍ය ප්‍රතිපත්ති සහකාර කළමනාකරු ටෙහාරා පුංචිහේවා යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වී තිබේ.



Recommended Articles