සෞදි අරාබිය හමුවේ ශ්‍රී ලංකාවට පරාජය


කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු අභියෝගතා වොලිබෝල් තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති තරගයෙන් තරග වට 3-1ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ලෙසින් මෙය ඊයේ (17දා) පැවැත්විණි.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 50 වැනි ස්ථානයේ පසුවන සෞදි අරාබියට තරගයේ පළමු වටයේදී දැඩි තරගයක් ලබා දීමට එම ශ්‍රේණගත කිරීම්හි 78 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර, ඒ අනුව එම වටය ලකුණු 25-22ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කෙසේ වෙතත් දෙවැනි වටයේ දෙවැනි තාක්‍ෂණික විවේක කාලය වන විට 08-06ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවෙන් තරගය සම්පූර්ණයෙන් උදුරා ගැනීමට සෞදි ක්‍රීඩකයන් සමත් වූයේ එම වටය 25-22ක් ලෙස ජය ගනිමිනි.

එහිදී සෞදි ක්‍රීඩකයන්ගේ විනය තරමක් පහත් මට්ටමින් තිබෙනු දක්නට ලැබුණු අතර, විනිසුරු තීරණවලට අභියෝග කිරීම හේතුවෙන් එක් ක්‍රීඩකයෙකුට කහ කාඩ්පතින් අවවාද කිරීමටද විනිසුරුවරයා තීරණය කළේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් තරගය ගිලිහී යන ආකාරයක් දක්නට ලැබුණු අතර, තෙවැනි වටය 25-19ක් ලෙස ජය ගත් සෞදි ක්‍රීඩකයෝ සිවුවැනි වටය 25-20ක් ලෙසින් ජය ගත්හ.

සාපේක්‍ෂව සෞදි ක්‍රීඩකයන්ගේ පන්දුව අවහිර කිරීම (Blocking) ඉතා ඉහළ මට්ටමින් පැවති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය ජයග්‍රහණ ද්විත්වයට ප්‍රබල දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන දීප්ති රොමේෂ් හා වසන්ත ලක්මාල් මෙම තරගයෙන් විවේක ගැන්වීමට ශ්‍රී ලංකා පුහුණුකරු තීරණය කර තිබිණි.

මෙම තරගයත් සමගින් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වූ අතර, එහි 'ඒ' කාණ්ඩයෙන් තරග වැදි ශ්‍රී ලංකාව එහිදී සහභාගි වූ තරග තුනෙන් දෙකක් ජයගෙන දෙවැනි ස්ථානයට පත්විය. එහි පෙරමුණ සහභාගි වූ තරග තුනම ජයගත් සෞදි අරාබිය සතුවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගින් තරග වැදීමට නියමිතව තිබේ. තරගාවලියේ අද (18දා) විවේක දිනයක් වන අතර, අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (19දා) ආරම්භ වේ.

ඡායාරූප ඉසුුුුරු ‌‌පෙරේරා

 

 



Recommended Articles