සෝන්ඩර්ස් වසර 13කට පසු අවසන් සටනට


එෆ්.ඒ. කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට යුද හමුදා හා සෝන්ඩර්ස් කණ්ඩායම් සමත් විය. ඒ පිළිවෙළින් පොලිස් හා කොළඹ පා.ක්‍රී.ස. කණ්ඩායම් පරාජයට පත්කරමිනි. මෙම තරග ද්විත්වයම ඊ‌‌යේ (25දා) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී පළමු තරගයේදී පසුගියවර ශූරයන් වූ යුද හමුදා ක්‍රීඩකයන්ට දැඩි සටනක් ලබාදීමට පොලිස් ක්‍රීඩකයන් සමත් වූ අතර, තරගයේ 28 වැනි මිනිත්තුවේදී පොලිස් ක්‍රීඩක ධනුෂ පෙරේරා අතින් වැරදීමකින් සිය දැල තුළටම ගෝලය යොමුවීම (Own Goal) නිසා තරගයේ වාර්තා වූ එකම ගෝලය යුද හමුදාව සතුවිය.

එමෙන්ම එහිදී පැවැති අනෙක් තරගයේදී වසර තුනක් ඩයලොග් චැම්පියස්ල් ලීග් ශූරයන් වූ කොළඹ පාපන්දු ක්‍රී.ස. කණ්ඩායමට මෙවරත් තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවත් කර දැමීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ කොළඹ පා.ක්‍රී.ස. පරදා ගෝල 2-0ක ජයක් හිමිකර ගනිමිනි. තරගයේ 71 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එස්. නිරේෂ් සෝන්ඩර්ස් වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී ක්‍රියාත්මක වූ කසුන් ජයසූරිය තවත් ගෝලයක් සෝන්ඩර්ස් වෙත හිමිකර දුන්නේය. කෙසේ වෙතත් ප්‍රතිවාදී කොළඹ කණ්ඩායමට තරගය අවසන් වනතුරුම ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

ඡායාරූප ඉසුරු පෙරේරා

 

 



Recommended Articles