විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමෙන් සංවිධායකයින්ට ඇ. ඩො. මිලියන 141ක වන්දියක්


විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමෙන් එහි සංවිධායකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 141ක වන්දි මුදලක් හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සංවිධානය කරන 'ඕල් ඉන්ග්ලන්ඩ් ලෝන් ටෙනිස් ඇන්ඩ් ක්‍රොකට් ක්ලබ් (All England Lawn Tennis & Croquet Club) හෙවත් එංගලන්ත ක්‍රීඩා සමාජය 2003 වසරේදී ඇතිවූ සාර්ස් වෛරසයෙන් අනතුරුව විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය රක්ෂණය කර තිබුණි. ඒ අනුව වසර 17කට පසුව එහි ප්‍රතිලාභ විම්බල්ඩන් සංවිධායකයින්ට හිමිව තිබේ. කෙසේ වෙතත් විම්බල්ඩන් තරග සංවිධායකයින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 02 බැගින් රක්ෂණාවරණයට ගෙවා ඇති බව වාර්තා වේ.

මෙවර විම්බල්ඩන් තරගාවලිය අවලංගු කිරීමට පෙර ගෙවන ලද මුළු රක්ෂණ වාරිකය වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 34කි. කෙසේ වෙතත් එහි ප්‍රතිලාභ හිමිකම් පෑම ඇමෙරිකානු ඩොලර් මිලියන 141ක් වීම සුවිශේෂිය.

සති දෙකක කාලයක් පුරා පැවැත්වෙන විම්බල්ඩන් තරඟාවලිය අවලංගු කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 325කට වඩා වැඩි ආදායමක් අහිමිවීම පියවා ගැනීමට විම්බල්ඩන් සංවිධායකයින්ට සිදුව ඇත.



Recommended Articles