රන් පදක්කම් දෙකක් දිනා 11න් පහළ අංක ඒකේ මේස පන්දු ක්‍රීඩක ටාවි ලංකාවට


වයස අවුරුදු 11 න් පහළ ලොව අංක 01ස්ථානයේ පසුවන , ශ්‍රී ලාංකික මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර , බහරේනයේ සහ කටාර් රාජ්‍ය වල පැවති තවත් ලෝක ශ්‍රේණි ගත කිරීමේ තරගාවලි දෙකක් ජයග්‍රහණය කරමින් රන් පදක්කම් 02 ක් දිනා ගෙන 01/26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය .

බහරේන් හි ඉකුත් 01/14 දින සිට 01/18 දින දක්වා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ දී වයස අවුරුදු 11 න් පහළ අංශයෙන් පළමු ස්ථානය දිනා ගෙන රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය .

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා නුවර 01/19 දින සිට 01/25 දක්වා පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 11 න් පහළ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගෙන එහි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වී සිටියේය .

ටාවි සමරවීර තවමත් 10 හැවිරිදි වියේ පසුවන කොළඹ , ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

ඔහුගේ පුහුණුකරු ලෙස ටාවි සමරවීරගේ පියා වන හසිත සමරවීර කටයුතු කරන අතර ඔවුන් මෙම ජයග්‍රහණයන් රැගෙන 01/26 දින අලුයම 03.55 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීවරුන් උසස් පිළිගැනීමකට ලක් කළ අතර ,  ටාවි සමරවීරගේ මව , සහෝදරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපති දයා සමරවීර මහතා ඇතුළු  පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles