මාලිංගට පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක්


ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරගයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී ඇත. මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉනිම් 22කදී කඩුලු 43ක් දවා ගෙන මෙම සටහනේ 07 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මෙම සටහනේ පස්වැනි හා හයවැනි ස්ථානයේ රැඳී සිටින්නේ කඩුලු 44 බැගින් දවා ගත් හිටපු ඉන්දීය වේග පන්දු යවන්නන් දෙදෙනෙකුවන සහීර් ඛාන් හා ජවගල් ශ්‍රීනාත්ය. මාලිංග අද තරගයේදී කඩුලු 02ක් දවා ගතහොත් ඔහුට මෙම සටහනේ 05 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවෙන්නේ කඩුලු 45 සීමාවට පැමිණෙමිනි.

මෙම සටහනේ පෙරමුණ ඔස්ට්‍රේලියාවේ ඉනිම් 39කදී කඩුලු 71ක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්ට හිමි වී ඇති අතර, ඉනිම 39කදී කඩුලු 68ක් දවා ගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට මෙහි දෙවැනි ස්ථානය හිමි වී ඇත. ඉනිම 36කදී කඩුලු 55ක් දවා ගත් පාකිස්තානයේ වසීම් අක්‍රම් මෙහි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස් මෙහි සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඉනිම 31කදී කඩුලු 49ක් දවා ගනිමිනි.

 



Recommended Articles