රටට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් තිබෙනවා නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසා සිටියේය. 'අද' කළ විමසුමකදී හෙතෙම මේ බව පැවසීය.
තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ 2019 වර්ෂයේදී බවත් එවකට තමන්ට එල්ල වූ බලපෑම් නිසා බලාපොරොත්තු වූ කාලසීමාවට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් තීරණය කළ බවද ඩිල්ෂාන් පවසවා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන දක්ෂතා දෙස අවධානය යොමු කිරීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තමන් ඉක්මන්වුවා වැඩි යැයි සිතෙන බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවැනි කඩාවැටීමක් තමන් කිසිදින අපේක්ෂා නොකළ බවත්, එය දැඩි වේදනාවක් ඇති කරවන්නක් බවද ඔහු පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිල්ෂාන්,
"නැවත කණ්ඩායමට එකතුවෙන්න බලාපොරොත්තුවක් දැනට නැහැ. හැබැයි මම වෙළෙ සේවා ක්‍රිකට් තරගාවලියට නායකයෙකු ලෙස මේ දිනවල තරගවලට සහභාගි වෙනවා. මේ සතියෙත් තරග දෙකක් තියෙනවා. මගෙන් තවදුරටත් රටට, කණ්ඩායමට අවශ්‍යතාවක් තියෙනවා නම් එය ලබාදෙන්න මම සූදානම්.
මම සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ. නමුත් මාව ඉලක්ක කරගෙන සිදු වූ සිදුවීම් නිසා මම වේලාසනම සමුගත්තා. එවකට හිටපු තේරීම් කමිටුව මට ඔස්ට්‍රේලියානු සංචාරයට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටියා නවකයන් අත්හදා බලන්න ඕන කියලා. ඔවුන් දිගින් දිගටම නවකයන් අත්හදා බලන්න තමයි සැලසුම් කර තිබුණේ. දිගින් දිගටම නවකයන් අත්හදා බලන්න යොදා ගන්නවානම් මම හිතුවා මගෙන් කණ්ඩායමට කිසිම වැඩක් නැහැ ඒ නිසා මම කණ්ඩායමෙන් සමුගන්න ඕන කියලා.
ඒ නිසයි මම සමුගත්තේ. එහෙම නැතුව මම කණ්ඩායමෙන් සමුගන්න බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. සමුගන්නා අවස්ථාව වන විටත් මම හිටියේ අංක එකේ. මම සමුගත්ත අවසන් තරගෙත් මම හොඳට ක්‍රීඩා කළා.ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වයත් එක්ක මට හිතුනා තව ටිකක් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වෙන්න තිබුණා කියලා.
ප්‍රශ්න තිබුණත් ඒවා දරාගෙන ඉන්න තිබුණා කියලා මට හිතෙනවා වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩාවැටීම දකින කොට. මේ කඩාවැටීම ගැන මට ගොඩක් දුකයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය වැනි රටවල්වලට පැරදිලා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වෙනකොට ගොඩක් දුකයි. හැබැයි ඉතින් අපි මේ ඉන්න ක්‍රීඩකයන් රැකගත යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද මේ ඉන්න ක්‍රීඩකයන් එක්ක තමයි අපිට ලෝක කුසලානයට යන්න වෙන්නේ. කෙසේ වෙතත් හිටපු ක්‍රීඩකයෙකු හැටියටත්, ක්‍රිකට් ලෝලියෙකු හැටියටත් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්න තැන ගැන කනගාටුයි. " යැයි ද සඳහන් කර සිටියේය.