කොග්ගලට හා මාතරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ


ආසියාවේ හොඳම  ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට ගාල්ල පත්කරන බවත්, එම  වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන අතර, මාතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ ‘ගාල්ල ලී ග්‍රෑන්ඩ්’ හෝටලය පසුගියදා 31දා සවස විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි බලා පොරොත්තු වෙනව ගාල්ලේ  අලුත් විශාල ගෝල්ෆ් පිට්ටනි තුනක් ආරම්භ කරන්න. කොළඹ තියෙන්නෙත් එකයි. නුවර තියෙන්නෙත් එකයි.

ඒ එක්කම අපි ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක් ඉදිකරන්නයි සැලසුම් සකස් කර තිබෙන්නේ. එකක් තමයි මෙතන තියෙන ක්‍රීඩාංගණය, යුනෙස්කෝ වාර්තා අනුව එය සකස් කරනවා. එය කුඩා ක්‍රීඩාංගණයක්. දැන් මෙතන පන්දහසයි ඇතුළු කරන්න පුළුවන්. කොග්ගල පැත්තෙ විශාල ක්‍රීඩාංගණයක් හදන්න යෝජනා කර තිබෙනවා. ඒක හැදුවම විසිපන්දහසක් තිස් දහසක් ඇතුළු කරන්න පුළුවන්.

මාතරත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් හදනවා. මෙහෙම කටයුතු කරද්දී ඇයි අපේ රටේ පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේවට විරුද්ධ වෙන්නේ කියා මම දන්නේ නැහැ. ඒවායේ අයිතිකරුවන් ගෙනල්ල පෙන්නන්න ඕන කරන්නේ මොකද්ද කියල. කොග්ගල එකක් හදනවයි කිව්වම ගිය ආණ්ඩුවේ කිසිවෙක් විරුද්ධ වුණේ නැහැ. මේ ආණ්ඩුවෙන් කරන විට විශාල උද්ඝෝෂණ කරනවා. මේ ප්‍රදේශය අපි ඉදිරියට ගෙන යනවා. ඉතින් මම බලා පොරොත්තු වෙනව අපේ විද්‍යුත් මාධ්‍ය මේවාට සම්පූර්ණ සහාය දෙයි  කියල මේවා  ඉදිරියට කරගෙන යන්න.” යැයි පැවසීය.

හිනිඳුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්/ ගාල්ල - සිරන්ගිකා ලොකුකරවිට



Recommended Articles