ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙද්දී 40ක් බංකුවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව පිළිබඳව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් අදහසක් ඉදිරිපත් කර තිබේ.

මෙම තරගාවලිය මෙවර කණ්ඩායම් 4ක් යටතේ පැවැත්වෙන අතර, එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 21 බැගින් ක්‍රීඩකයන් 84ක් තරගාවලියට නම් කර ඇත.

කෙසේ වෙතත් තරගයකට ක්‍රීඩකයන් 11 දෙනා බැගින් ක්‍රීඩකයන් 44කට අවස්ථා ලැබෙන අතර, තවත් ක්‍රීඩකයන් 40කට බංකුවට වී බලා සිටීමට සිදුවේ.

මේ පිළිබඳව මහේල පවසන්නේ මේ සඳහා තවත් කණ්ඩායම් දෙකක් යොදාගත හැකි නම් යෝග්‍ය  බවයි. ඒ අනුව තවත් ක්‍රිඩකයන් කිහිප දෙනෙකුටම අවස්ථාව ලබාදිය හැකි බව මහේලගේ අදහසයි.

සිය ට්විටර් ගිණුම මගින් අදහස් දක්වමින් මහේල මෙසේ පවසා තිබේ.

“ වැඩි අවස්ථා ගණනක් ලැබෙන ලෙස පළාත් කණ්ඩායම් පහක් හෝ හයක් ක්‍රීඩා කළ යුතුයි කියා සිතන එකම කෙනා මමද? මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් 44කට අවස්ථාව ලැබෙන විට තවත් ක්‍රීඩකයන් 40ක් බංකුවේ. තව කණ්ඩායම් දෙකක්?”

 

 



Recommended Articles