එංගලන්තය අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අලුත් කරගනියි


ඉන්දීය කණ්ඩායම පරාජය කර ලකුණු 31ක ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගය ලෙස මෙම තරගය බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ ඊයේ (30දා) පැවැත්විණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 337ක් රැස්කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් ජොනී බෙයාස්ටෝව් (111), බෙන් ස්ටොක්ස් (79) හා ජේසන් රෝයි (66) පිත්තෙන් දක්‍ෂතා දැක්වූහ. ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් ෂාමි කඩුලු 05ක් බිඳලීමට සමත් විය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 338ක් ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 306ක් පමණි. රෝහිත් ශර්මා (102), විරාට් කෝලි (66) හා හාඩික් පාන්ද්‍යා (45) පිත්තෙන් දක්‍ෂතා දැක්වුවද, ඔවුන්ට කණ්ඩායම පරාජයෙන් වළකාගැනීමට නොහැකි විය. එංගලන්තය වෙනුවෙන් ලියාම් ප්ලන්කට් කඩුලු 03ක් බිඳලීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම නැවත වරක් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. තරගයේ වීරයා ලෙස ජොනී බෙයාස්ටෝව් සම්මාන දිනාගත්තේය.

එංගලන්තය 337/7 (පන්දුවාර 50)

ජොනී බෙයාස්ටෝව් 111 (109, 4x10, 6x6), බෙන් ස්ටෝක්ස් 79 (54, 4x6, 6x3), ජේසන් රෝයි 66 (57, 4x7, 6x2), මොහොමඩ් ෂාමි 5/69 (10)

ඉන්දියාව 306/5 (පන්දුවාර 50)

රෝහිත් ෂර්මා 102 (109, 4x15), විරාට් කෝලි 66 (76, 4x7), හාඩික් පාන්ද්‍යා 45 (33, 4x4), එම.එස්. දෝනි නොදැවී 42 (31, 4x4, 6x1), ලියම් ප්ලන්කට් 3/55 (10), ක්‍රිස් වෝක්ස් 2/58 (10)

 

 



Recommended Articles