සාග් ඉන්දියාවේදී අද ආරම්භ වේ


වසර පහක නිහැඬියාවකින් පසු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ඉන්දියාවේදී අද (05දා) ආරම්භ වේ. ක්‍රීඩා උලෙළ එළඹෙන 16 වැනිදා දක්වා ගුවාති හා ශිලොන්ග් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. 12 වැනි වරට පැවැත්වෙන මෙවර ක්‍රීඩා උලෙළේ පාර්ශ්වකරුවන් ලෙස දකුණු ආසියානු ඔලිම්පික් කමිටුව, ඉන්දීය ඔලිම්පික් කමිටුව හා ඉන්දියානු ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරයි.

දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් මේ සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාවට අමතරව පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, භූතානය, මාලදිවයින හා නේපාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2600කට වැඩි දෙනෙක් සහභාගි වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400කට වැඩි පිරිසක් සහභාගි වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස උස පැනීම ජාතික ශූර මංජුල කුමාර කටයුතු කරන අතර, මෙවර ක්‍රීඩා උලෙළට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයාද ඔහු වේ. මංජුල, 2004 වසරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති 09 වැනි ක්‍රීඩා උලෙළේදී මීටර 2.20 ක දක්‍ෂතාවක් දක්වමින් දකුණු ආසියානු උස පැනීම වාර්තාවක් පිහිටවූ අතර, එම වාර්තාව අදටත් සුරැකිව පවතියි.

මෙවර ක්‍රීඩා උලෙළ ක්‍රීඩා 23 ක් ආවරණය වන පරිදි ඉසව් 228 ක් පැවැත්වෙන අතර, එහිදී රන් හා රිදී පදක්කම් 228 බැගින්ද, ලෝකඩ පදක්කම් 308 ක්ද පිරිනැමීමට නියමිතව ඇත.

ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මෙතෙක් පැවැති සියලුම උලෙළවලදී (11) සමස්ත ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර, අවස්ථාව 07 කදී පාකිස්තානය හා අවස්ථා තුනකදී ශ්‍රී ලංකාව අනුශූරයන් වී ඇත. 1984 වර්ෂයේදී නේපාලයේ කත්මණ්ඩු නුවරදී මෙම ක්‍රීඩා උලෙළ පළමු වරට ආරම්භ වූ අතර, 1991 හා 2006 වර්ෂවලදී ශ්‍රී ලංකාව සත්කාරකයන් ලෙස කටයුතු කර ඇත.

ඉන්දියාව හා පාකිස්තානය අතර පැනනැගී ඇති දේශපාලනික ගැටලු හේතුවෙන් දෙරටේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන තරග සඳහා ඉන්දියාව හෝ පාකිස්තානය සහභාගි නොවූ අතර, ඉකුත් දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සඳහාද පාකිස්තානු කණ්ඩායම සහභාගි නොවුණි.

කෙසේ නමුත් පාකිස්තානයේ සහභාගිත්වය නිල වශයෙන් තහවුරු කර නොමැති වූවත්, එරටින් ක්‍රීඩකයන් 195 ක් හා ක්‍රීඩිකාවන් 142 බැගින් 337 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවීමට එකඟතාව පළවී තිබුණි. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ඉන්දියාව හැරුණු විට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ඇති රට පාකිස්තානය වේ.

සමාරම්භක උත්සවය ගුවාතිහි සරුසාජායි ක්‍රීඩා සංකීරණයේදී අද (05දා) පැවැත්වේ. ඊට අමතරව අද දිනයේ පාපන්දු පිරිමි, වොලිබෝල් හා දුනුවිදීම තරග ආරම්භ වේ.

 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ඇති සාග් වාර්තා

පිරිමි

මී. 200 (තත්. 20.99) - රොහාන් ප්‍රදීප් කුමාර (ඉස්ලාමාබාද්/ 2004)

මී. 400 (තත්. 45.77) - රොහාන් ප්‍රදීප් කුමාර (කත්මන්ඩු/ 1999)

මී. 800 (වි. 1.47.56) - එස්.ජී.ආර්. සුබසිංහ (ඩකා/ 1993)

උස පැනීම (මී. 2.20) - මංජුල කුමාර (ඉස්ලාමාබාද්/ 2004)

තුම් පිම්ම (මී. 16.26) - එස්.ඩී.සී.එස්. වීරසිංහ (කොළඹ/ 2006)

මී. 4x400 (වි. 3.05.28) - ශ්‍රී ලංකාව (කත්මණ්ඩු/ 1999)

 

කාන්තා

මී. 100 (තත්. 11.19) - දමයන්ති දර්ශා (කත්මණ්ඩු/1999)

මී. 200 (තත්. 22.68) - දමයන්ති දර්ශා (කත්මණ්ඩු/1999)

මී. 400 (තත්. 52.11) - දමයන්ති දර්ශා (කත්මණ්ඩු/1999)

මී. 100 කඩුලු පැනීම (තත්.13.12) - ශ්‍රියානි කුලවංශ (කත්මණ්ඩු/ 1999)

උස පැනීම (මී. 1.81) - ප්‍රියන්තිකා මධුමන්ති (ඩකා/2010)

හෙල්ල විසිකිරීම (මී. 53.06) - විජිත පී. අමරසේකර (ඉස්ලාමාබාද්/1989)

මී. 4x100 (තත්. 44.63) - ශ්‍රී ලංකාව (කොළඹ/2006)

 

ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ රටවල් දක්වා ඇති දක්‍ෂතා (1984 - 2010)

01.1984 - නේපාලය, කත්මණ්ඩු

1.ඉන්දියාව (44) 2. ශ්‍රී ලංකාව (07) 3. පාකිස්තානය (05) 4. නේපාලය (04) 5. බංග්ලාදේශය (02), 6. භූතානය (0), මාලදිවයින (0)

 

02. 1985 - බංග්ලාදේශය, ඩකා

1. ඉන්දියාව (61) 2. පාකිස්තානය (21) 3. බංග්ලාදේශය (09) 4. ශ්‍රී ලංකාව (02), 5. නේපාලය (02), 6. භූතානය (0), මාලදිවයින (0)

 

03. 1987 - ඉන්දියාව, කොල්කටා

1. ඉන්දියාව (91), 2. පාකිස්තානය (16), 3. ශ්‍රී ලංකාව (04), 4. බංග්ලාදේශය (03), 5. නේපාලය (02), 6. භූතානය (0), 7. මාලදිවයින (0)

 

4. 1989 - පාකිස්තානය, ඉස්ලාමාබාද්

1. ඉන්දියාව (61), 2. පාකිස්තානය (45), 3. ශ්‍රී ලංකාව (06), 4. බංග්ලාදේශය (01), 5. නේපාලය (01), 6. භූතානය (0), 7. මාලදිවයින (0)

 

5. 1991 - ශ්‍රී ලංකාව, කොළඹ

1. ඉන්දියාව (64), 2. ශ්‍රී ලංකාව (44), 3. පාකිස්තානය (28), 4. බංග්ලාදේශය (04), 5. නේපාලය (02), 6. මාලදිවයින (0), 7. භූතානය (0)

 

6. 1993 - බංග්ලාදේශය, ඩකා

1. ඉන්දියාව (60) 2. පාකිස්තානය (23) 3. ශ්‍රී ලංකාව (20) 4. බංග්ලාදේශය (11) 5. නේපාලය (01) 6. භූතාන/මාලදිවයින (0)

 

7. 1995 - ඉන්දියාව, මදුරාසිය

1. ඉන්දියාව (106) 2. ශ්‍රී ලංකාව (16), 3. පාකිස්තානය (10) 4. බංග්ලාදේශය (07) 5. නේපාලය (04) 6. භූතානය (0) 7. මාලදිවයින (0)

 

8. 1999 - නේපාලය, කත්මණ්ඩු

1. ඉන්දියාව (102) 2. නේපාලය (32), 3. ශ්‍රී ලංකාව (16), 4. පාකිස්තානය (10), 5. බංග්ලාදේශය (02) 6. භූතානය (1) 7. මාලදිවයින (0)

 

9. 2004 - පාකිස්තානය, ඉස්ලාමාබාද්

1. ඉන්දියාව (103) 2. පාකිස්තානය (58) 3. ශ්‍රී ලංකාව (17) 4. නේපාලය (07) 5. බංග්ලාදේශය (03), 6. භූතානය (01) 7. මාලදිවයින (0)

 

10. 2006 - ශ්‍රී ලංකාව, කොළඹ

1. ඉන්දියාව (118) 2. පාකිස්තානය (46) 3. ශ්‍රී ලංකාව (37) 4. නේපාලය (15), 5. ඇෆ්ගනිස්තානය (06), 6. බංග්ලාදේශය (03) 7. භූතානය (0) 7. මාලදිවයින (0)

 

11. 2010 - බංග්ලාදේශය, ඩකා

1. ඉන්දියාව (90) 2. පාකිස්තානය (19) 3. බංග්ලාදේශය (18), 4. ශ්‍රී ලංකාව (16) 5. නේපාලය (08) 6. ඇෆ්ගනිස්තානය (07) 7. භූතානය (0) 7. මාලදිවයින (0)

(සැ.යු. වරහන තුළින් දැක්වෙන්නේ එක් එක් රටවල් දිනාඇති රන් පදක්කම් වේ)

 

          

     

 

 

 

 



Recommended Articles