වැරදි පරිපාලනය වෙනස් කරන්න ක්‍රීඩා ඇමතිට ශක්තියක් නෑ


නුසුදුසු පුද්ගලයින් ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමතිට ශක්තියක් නොමැති බවත් ඒ පිළිබඳව ජනතාව ක්‍රීඩා ඇමැතිට හිනා වෙන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (23දා) තංගල්ල වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගි වෙමිනි. 

"අපි හැමවෙලාවෙම කරන්නේ තුවලෙට ප්ලාස්ටර් අලවනවා, ගලවනවා. දැන් චන්දික හතුරුසිංහව ගෙනාවා. තරග පැරදුනෙත් හතුරුසිංහගේ ඇඟට දානවා. නමුත් පරිපාලනය තවම ඉන්නවා.

ඇමතිතුමා මේක තේරුම් ගන්න ඕන. ක්‍රිකට් ක්‍රීඩාවට විතරක් නෙමෙයි අනෙකුත් ක්‍රීඩාවලටත් මේ තත්ත්වය ඇති වෙනවා. අපි නායකයෝ මාරු කරනවා, පුහුණුකරුවෝ මාරු කරනවා නමුත් සභාපතිවරුයි, උපසභාපතිවරුයි කවදාවත් යන්නේ නෑ.

ඒක ක්‍රීඩා ඇමතිතුමාට කරන්න බෑ. ඇත්ත කතාව ක්‍රීඩා ඇමතිතුමාට ශක්තියක් නෑ වැරදි පරිපාලනය වෙනස් කරන්න එතුමට වඩා පරිපාලනය බලවත් ඇති. ඒකට මිනිස්සු හිනාවෙනවා ඇති එතුමට."

0b943a07bc00df46e4cc740bf5ba190e



Recommended Articles