ලංකාවේදී පළමු වරට රෝස පන්දුවෙන් ක්‍රිකට් තරගයක්


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම හා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම අතර සිවුදින පළමු තරගය අද (04දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී පළමු වරට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න විසින්ද බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම ෂම්රාහ් බෘෘක්ස් විසින්ද මෙහෙයවනු ලැබේ.

මෙවර තරගාවලිය සඳහා සිවුදින තරග 03ක් හා එක්දින තරග 03 ක් ඇතුළත්ය. තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (03දා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති අතර ඊට දෙරටේ ක්‍රිකට් නායකයන්, පුහුණුකරුවන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් උපසභාපති ජයන්ත ධර්මදාස හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ.
මෙහිදී තරගාවලිය පිළිබඳ අදහස් පළකළ ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, "පළමු වරටයි අපි රෝස පැහැති පන්දුවට ක්‍රීඩා කරන්නේ. අපි දවස් 02ක් පමණ රෝස පැහැති පන්දුවට පුහුණුවීම් සිදුකළා. ලොකු වෙනසක් අපිට දැනෙන්නේ නැහැ.

හැබැයි පන්දුව පරණ වුණාම තමයි වෙනසක් වෙනවා නම් සිදුවෙන්නේ. ඒ කෙසේ වෙතත් මම ඇතුළු කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. අපි අතරින් හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවේවි. මම පසුගිය කාලයේ යම් අසාර්ථකත්වයකට පත්වුණා. ඒ නිසා මමත් මෙම තරගාවලියේදී ලකුණු අතරට එන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසීය.

_KSR0578 _KSR0581 _KSR0586 _KSR0587 _KSR0593 _KSR0599 _KSR0626 _KSR0630 _KSR0632 _KSR0638 _KSR0656 _KSR0667


 



Recommended Articles