කාන්තා සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ජය දේවපතිරාජයට


- ශූරතාව රත්ගම දේවපතිරාජ ක්‍රීඩිකාවන්ට

- අනුශූරතාව නුගේගොඩ අනුලාවන්ට

කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය හා රීබෝන් කොස්මැටික්ස් සමාගම එක්ව සංවිධානය කළ රීබෝන් කොස්මැටික්ස් කුසලාන දීපව්‍යාප්ත පාසල් කාන්තා සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දෙවැනි වරටත් හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල් බාලිකා කණ්ඩායම සමත්විය. අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ කඩුලු 05 ක පරාජයක් අත්විඳීමට නුගේගොඩ අනුලා විදුහල් බාලිකාවන්ට සිදුවිය.

මෙම තරගාවලිය පසුගිය 11 හා 12 යන දිනවලදී කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් නුගේගොඩ අනුලා බාලිකාවෝ නියමිත පන්දුවාර 05 තුළදී කඩුලු 04ක් දැවී ලකුණු 71 ක් රැස් කරගැනීමට සමත් වූහ. එහිදී තරිණි හේවාතන්ත්‍රි ලකුණු 20 ලැබූ අතර ජනදි අනාලි ලකුණු 18 ක් ලබාගැනීමට සමත්වූවාය. පන්දු යැවීමෙන් දේවපතිරාජ නායිකා සත්‍යා සංදීපනී ලකුණු 08 කට කඩුලු 02ක්ද ඉමේෂා දුලානි ලකුණු 13 කට එක් කඩුල්ලක්ද දවාගැනීමට සමත් විය.

ලකුණු 72 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය රත්ගම දේවපතිරාජ ක්‍රීඩිකාවෝ පන්දුවාර 4.1 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 75 ක් ලබමින් ශූරතාව හිමිකර ගැනීමට සමත්වූහ. දේව පතිරාජ නායිකා,සත්‍යා සංදීපනී නොදැවී වේගවත් ලකුණු 32 ක් ලැබූ අතර උමාෂා නිමේෂණී ලකුණු 28 ලබාගැනීමට සමත්විය. ජයග්‍රාහී රත්ගම දේවපතිරාජ කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේෂ් සඳරුවන්ද සිල්වා මහතා කටයුතු කළ අතර කණ්ඩායමට සත්‍යා සංදීපනී,කවීෂා දිල්හාරි,නිලක්‍ෂණ සඳමිණි, උමාෂා නිමේෂණි, ටෙලීෂියා චතුරංගි, පූජා රශ්මි,ඉමේෂා දුලානි, සචිනි නිසංසලා ශිඛාරි නුවන්තා යන ක්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.

අනුශූරතාව දිනූ නුගේගොඩ අනුලා කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහන් දේශප්‍රිය මහතා කටයුතු කළ අතර කණ්ඩායමට අමාෂා දිල්හානි පෙරේරා, කාවින්ද්‍යා මුතුමිණිතිලක, සිත්මි හිරාෂා,ජනදි අනාලි,හිමාෂා කුමාරගේ,තරිණි හේවාතන්ත්‍රි,නෙත්මි තරුෂා යන ක්‍රීඩිකාවෝ ඇතුළත් වූහ. තරගාවලියේ විශිෂ්ටතම උඩපන්දුව රැකගත් ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාඛා විද්‍යාලයේ විනුකි පෙරේරා සම්මානයට පාත්‍රවිය. එමෙන්ම තරගාවලියේ වැඩිම හයේ පහර හා හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාව ලෙස අනුලා විද්‍යාලයේ නායිකා අමාෂා දිල්නක්‍ෂි සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව බවටද ඇය පත්විය.

සමස්ත තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නිය ලෙස රත්ගම දේවපතිරාජ විදුහලේ ශිඛාරි නුවන්තා සම්මානයට පාත්‍ර වූ අතර අවසන් තරගයේ වීරවරිය සම්මානය එම විදුහලේ නායිකා සත්‍යා සන්දීපනීට හිමිවිය. මේ අතර මොරටුව වේල්ස් කුමරි විදුහල ලකුණු 07 කින් පරාජයට පත්කරමින් මහනුවර මහාමායා විදුහල තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්විය.

ජය සංකේත ප්‍රදානය සඳහා 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක හා වරාය නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග, කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ සභාපතිනි රෝහිණී ප්‍රනාන්දු, රීබෝන් කොස්මැටික්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ එන්.සිවරාජ් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අවසන් තරගයේ ලකුණු පුවරුව

නුගේගොඩ අනුලා විද්‍යාලය 71/04 (පන්දුවාර 05)

තරිණි හේවාතන්ත්‍රි 20,ජනදි අනාලි 18,සිත්මි හිරාෂා 08,අමාෂා දිල්හානි 06, හිමාෂා කුමාරගේ 05

රත්ගම දේවපතිරාජ පන්දු යැවීම

සත්‍යා සංදීපනී 02/08, ඉමේෂා දුලානි 01/13

රත්ගම දේවපතිරාජ විද්‍යාලය 75/01 (පන්දුවාර 4.1)
සත්‍යා සංදීපනී නොදැවී 32, උමේෂා නිමේෂණී 28, කවීෂා දිල්හාරි නොදැවී 12

නුගේගොඩ අනුලා පන්දු යැවීම

ජනදි අනාලි 01/13

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

_KSR2272 _KSR2278 _KSR2290 _KSR2342 AID_0371 AID_0394 AID_0395 AID_0422 AID_0425  AID_0465 AID_0468 AID_0472



Recommended Articles