මෙහෙම ගියොත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්, උපසභාපතිත් නායකත්වය දරාවි


ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා වුවද දැරිය හැකි බව ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානය හිමිකරදුන්, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියේය.

“මේ වගේ වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති, ක්‍රිකට් ගැන දැනුමක් නැති අය කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ටීම් තෝරන්නේ, ක්‍රිකට් වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති අය. ඒ නිසා තමයි අපේ ක්‍රිකට් විනාශ වෙන්නේ. අද එන්න එන්නම මෙරට ක්‍රිකට් නරක අතට ගමන් කරමින් තමයි තියෙන්නේ.

හොඳ තේරීම් කමිටුවක් එන්නේ නැහැ පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න. මොකද වර්තමාන පරිපාලනය ගැන කිසිම කෙනෙකුගේ විශ්වාසයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැති දුර්වල පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ වැඩවලට සම්බන්ධ වේවි.

එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන සහ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ගැන කතා කරන්නේ අඩුම ගානේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකටවත් බැහැලා නැති අය. මේක හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් ක්‍රිකට් තවත් විනාශ වෙන එක තමයි වෙන්නේ” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

0b943a07bc00df46e4cc740bf5ba190e

 



Recommended Articles