මන්දිරා චාරුණීගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටත්ව යයි


බොට්ස්වානාහි ගැබරෝන් නුවර මෙම මස 08 වැනිදා ආරම්භ වීමට නියමිත දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (03දා) රාත්‍රී 09.00ට පිටත්ව යාමට නියමිතය. 

මන්දිරා චාරුණීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 12 දෙනෙක් ඇතුළත් අතර, ඊට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනෙකුද නම් කර තිබුණි. කණ්ඩායමේ උපනායිකාව වශයෙන් කටයුතු කරනුයේ විදින්නිය (Shooter) ලෙස කටයුතු කරන කවීතා රාජපක්‍ෂයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස ජානකී ගුණසේකරද, සහාය පුහුණුකාරිනිය ලෙස අමල්කා ගුණතිලකද කටයුතු කරන අතර, කළමනාකාරීත්වය හිමිව ඇත්තේ දැල්පන්දු ලේකම් ජයන්ති සෝමසේකරම්ටයි. වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ලාල් ඒකනායක මහතා කණ්ඩායම හා එක්ව සිටියි. 

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 'ඒ' කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයට ස්කොට්ලන්තයට අමතරව නවසීලන්තය, උතුරු අයර්ලන්තය හා සැමෝවා යන කණ්ඩායම් ඇතුළත්ය.

තරගාවලිය ආරම්භ කරමින් මෙම මස 08 වැනිදා ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

මන්දිරා චාරුණී  (නායිකා) (සෙලාන්), කවීතා රාජපක්‍ෂ - (උපනායිකා), නදී මධුෂිකා ප්‍රනාන්දු, සචිනි හිරුණිකා රොඩ්රිගෝ (යුද හමුදා), තරුෂි ඉලංගකෝන්, පූර්ණි ලක්ෂාණි (යුද හමුදා), නිලුම් හපුආරච්චි (නාවික හමුදා), මල්ෂා සත්සරණ (සෙලාන්), මෙලනි විජේසිංහ (කොළඹ විශාකා) නටාෂා අළුවිහාරේ (මහනුවර හිල්වුඩ් බාලිකා) , සෙත්මි ධනෝෂි (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), සුසීමා බණ්ඩාර (කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) 

අතිරේක ක්‍රීඩිකාවන් 

ඉමේෂා නිර්මාණි (නාවික හමුදා), ආලෝකා උදානි, ථේමි දිව්‍යාංජලී (ප්‍රෙස්බිටේරියන් විද්‍යාලය)

IMG-20170702-WA0066 IMG-20170702-WA0067 IMG-20170702-WA0068



Recommended Articles