බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පැවැති එකම ටෙස්ට් තරගයෙන් ලකුණු 208ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්විය. අද (13දා) අවසන් වූ තරගයේ ලකුණු 459ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 100.3කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 250ක් පමණි.
හයිද්‍රාබාද් නුවර රවි ගාන්ධි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 09 සිට 13 වැනිදා දක්වා දින 05ක් පුරා පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනාගත්තේ ඉන්දියානු කණ්ඩායමය.
ඒ අනුව පළමු ඉනිමේදී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 166කදී කඩුලු 06ක් දැවී ලකුණු 659ක් ලබාගත් අතර, එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි ලකුණු 204ක් තම කණ්ඩායමට එක්කිරීමට සමත්විය. ඔහුට අගනා සහායක් වූ මුරලි විජේ ලකුණු 108ක් හා රිද්දිමාන් සාහා නොදැවී ලකුණු 106ක් බැගින් වාර්තා කළහ.
එහිදී බංග්ලාදේශය වෙනුවෙන් තයිජුල් ඉස්ලාම් කඩුලු 03ක් දවාළීමට සමත්විය.
නමුත් බංග්ලාදේශ පළමු ඉනිමේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ පන්දුවාර 127යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 388ක් පමණි. එහිදී ඉන්දියාව වෙනුවෙන් උමේෂ් යාදව් කඩුලු 03ක් දවාළීමට සමත්විය. බ‘ග්ලාදේශය වෙනුවෙන් නායක මුෂ්ෆිකර් රහීම් ශතකයක් (127) වාර්තා කළේය.
අනතුරුව ආරම්භ වූ දෙවැනි ඉනිමේදී ඉන්දියාවට පන්දුවාර 29කදී කඩුලු 04ක් දැවී ලකුණු 159ක් රැස්කර ගෙන සිටින අවස්ථාවේදී ඉනිම අත්හිටවූයේ බංග්ලාදේශයට ලකුණු 459ක ඉලක්කයක් ලබාදෙමිනි.
සමස්ත තරගයේ වීරයා ලෙස ලකුණු 242ක් ලබාගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි නම් කෙරිණි.
ෂෙහානි දිල්රුක්ෂිකා