පැරා ක්‍රීඩක දිනේෂ්ට රු මි 4ක් හා නිවසක්


මෙවර පැරාලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කරදෙමින්  හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ  දිනේෂ් ප්‍රියන්ත හා ඔහුගේ පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු මහතා ඇගයීමේ උලෙළක් පසුගියදා (21දා) කොළඹ  කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. එහිදී ක්‍රීඩා අමාත්‍යංශය හා ජාතික ලොතරැයි මණ්ඩලය එක්ව රුපියල් ලක්ෂ 15ක්. ඩයලොග් ආයතනය රුපියල් ලක්ෂ 10 යුද හමුදාවෙන් රුපිලයල් ලක්ෂ 15ක් දිනේෂ්ට ත්‍යාග වශයෙන් ලබාදුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට දිනේෂ් ප්‍රියන්ත හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  මහතාද  සහභාගි විය.

දිනේෂ් එෆ්- 46 ඉසව්වෙන්  මීටර් 58.23 ක දුරක් හෙල්ල විසිකරමින් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර,පැරාලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය. මීට පෙර ප්‍රදීප් සංජය (2012) වර්ෂයේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

මෙහිදී අදහස් දැක්වූ  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, “දිනේෂ් ප්‍රියන්ත අපේ පැරාලිම්පික් ක්‍රීඩාවට තවත් ජයග්‍රහණයක් ගෙනාපු ක්‍රීඩකයෙක්. මීට පෙර ප්‍රදීප් සංජය 2012 වර්ෂයේදී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරදුන්නා. ඔහුගේ ජයග්‍රහණය පිටිපස්සෙ තිබුණෙ විශ්වාසය, දැඩි ආත්ම විශ්වාසය හා දැඩි කැපවීමයි.

නමුත් ප්‍රදීප් සංජය එදා (2012) ලෝකඩ පදක්කම දිනාගෙන වසර 04ක් යනකොට ඔහුගේ දක්ෂතා බැස්සා.මේකට හේතුවුණේ ඔහුගේ පුහුණුවීම් සම්බන්ධයෙන් තිබුණු ගැටලුවක්. අපට මීළඟට තිබෙන්නේ 2020 තරගාවලිය. ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා.

යුද්ධය අවසන් වුණාට පස්සෙ අපට හමුදාවෙ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය (පැරා තරගාවලි වෙනුවෙන්) ක්‍රමයෙන් අඩුවෙනවා. දැන්  අපට කරන්න තියෙන්නෙ සිවිල් ජනතාවට මේ ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩපිළිවෙළයි. පාසල් දරුවන්ගේ සිට මේ ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.මේ වෙනුවෙන්  පාසල්  පද්ධතියත් එක්ක ක්‍රමානුකූලව එකට වැඩ කළ යුතුයි. එහෙම වුණොත් විතරයි අපට ඉදිරියට යන්න පුළුවන්.දැන් පාසල්වල ශාරීරික අභ්‍යාස වෙනුවෙන් තිබුණු පැය අහෝසි කරලයි තියෙන්නේ.

ඒ විතරක් නෙමෙයි  පාසල් පද්ධති තුළ අද මැරතන් ක්‍රීඩකයන් හොයාගන්නත් නෑ. මොකද දැන් මැරතන් ක්‍රීඩාවට කලින් පරීක්ෂණ කරන්න තියෙන නිසා. දැන් ලංකාවට වේගයෙන් මැරතන් ක්‍රීඩකයන් අහිමි වෙලා යනවා. ඒ නිසා ලබන වසරේදී විදෙස් පුහුණුකරුවන් ගෙනත් ලංකාවේ පුහුණකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා" යනුවෙන් කියා සිටියේය.

අප කළ විමසීමකදී යුද හමුදා  මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ යුද හමුදාව මගින් දිනේෂ්ට මුදලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් මෙන්ම ඔහුගේ කෝප්‍රල් තනතුර සැරයන් දක්වා උසස්වීමක් ලබා දුන් බවයි. එමෙන්ම දිනේෂ්ගේ ඉඩමක ගෙයක් සාදා ගැනීම වෙනුවෙන් යුද හමුදාවෙන් අවශ්‍ය පහසුකම් සපයා  දුන් බවද හෙතෙම  පැවසීය.

ඡායාරූප ශමිර රාජපක්ෂ

DSC_9307 DSC_9340 DSC_9358 DSC_9367 DSC_9368 DSC_9406 DSC_9413 DSC_9425

DSC_9431

DSC_9440

 



Recommended Articles