දෛවයට අභියෝග කර රෝද පුටුවට සමුදීමට සැරසෙන ජැක්සන් ෆෝල්මාන්


සිය ජීවිතයම කණපිට හැරවූ ඒ අඳුරු දිනයේදී යම්තම් දිවි ගලවා ගැනීමට ඔහු සමත් වූයේ දෛවයේ හාස්කමකට මෙන් වුවත්, එම දෛවයම ඔහුට කිසිදා නැවතත් පාපන්දුවට පය තැබීමට ඉඩ නොතැබුවේය. නපුරු හීනයක් බඳු වූ එම අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වුවද, දෛවය ඔහුට අභියෝගයක් ලබාදුන්නේ රෝද පුටුවෙන් සිය ජීවිතය ගොඩනගා ගැනීමටය.

අද අපගේ කථා නායකයා ලෙස මෙලෙස ප්‍රස්තුතයක් ලබාගත්තේ, පසුගිය වසරේ බ්‍රසීල චැපකොයෙන්ස් පාපන්දු කණ්ඩායමේ ගුවන් අනතුරින් දිවි ගලවා ගත් අතලොස්ස අතර සිටි කණ්ඩායමේ දැල් රකින්නා වන ජැක්සන් ෆෝල්මාන් පිළිබඳවය. දෛවය ලබාදුන් අභියෝගයට සාර්ථක පිළිතුරක් ලබාදෙනන්නට වෙර දරන ඔහු දැන් උත්සාහ කරන්නේ, ආබාධිතයෙකු ලෙස පාපන්දුවේ හිණිපෙත්තටම ළඟාවීමටය. 

පාපන්දු ලෝකයම හඬවමින් පසුගිය වර්ෂයේදී කොලොම්බියාවේදී සිදුවූ චැපකොයෙන්ස් ඛේදවාචකය මෑත ඉතිහාසයේ පාපන්දු ක්‍රීඩාවට එල්ල කළ කනගාටුදායකම සිදුවීමක් ලෙසින් හඳුනාගත හැකිය. පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 28දා චැපකොයෙන්ස් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් රැගත් ගුවන් යානය කොලොම්බියාවේ කඳුකර ප්‍රදේශයකදී සිදුවූ එම අනතුරන් කණෟඩායමේ ක්‍රීඩකයන් 19 දෙනෙකු, එහි පුහුණුකරු ඇතුළු 77 දෙනෙකුට දිවි අහිමි වූ අතර, දිවි ගලවා ගැනීමට සමත් වූයේ 06 දෙනෙකු පමණි. ඒ අතරට එක්වීමට ජැක්සන් වාසනාවන්ත වුවද, ඔහුට සිය දකුණු පාදය අහිමි විය. එමෙන්ම අනතුර හේතුවෙන් බොහෝ දිනක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට ද ඔහුට සිදු විය.

මේ වනවිට කෘත්‍රිම පාදයක ආධාරය ලබාගෙන ඇවිදීමට ජැක්සන් සමත්ව ඇති අතර, ඔහු ඒ සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාරද ලබාගනිමින් සිටියි. කෙසේ නමුත් සිය ජීවිතය බඳු ක්‍රීඩාවට නැවතීමේ තිත තැබීමට මැලිවන ඔහු පවසන්නේ ඉදිරියේදී ආබාධිත ක්‍රීඩාවන් (Paralympics) වෙත යොමු වන බවයි.

''මොනදේ වුණත් මම ක්‍රීඩකයෙක්. මම තමයි චැපකොයෙන්ස්හි දැල් රකින්නා'' හෙතෙම අධිෂ්ඨානශීලීව පවසයි.   

කෙසේ වුවත් 24 හැවිරිදි ජැක්සන්ට මේ වනවිට ලොකුම ශක්තිය වී ඇත්තේ ඔහුගේ පෙම්වතිය වූ ඇන්ඩ්‍රෙසා පර්කොව්ස්කිය. ජැක්සන් පවසන්නේ විවාහයෙන් අනතුරුව ඇය සමග සුපුරුදු සාමාන්‍ය ජීවිතය ගෙවීමට බලාපොරොත්තු වන බවයි.

ජැක්සන්ට අමතරව මෙම අනතුරින් දිවි ගලවා ගැනීමට කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයකු වන ඇලන් රුෂෙල් සමත් වූ අතර, ඔහු මේ වනවිට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.  

3C5E037300000578-4142828-image-a-5_1485025788087 3D7EC8ED00000578-4247470-image-a-42_1487724667535 3D7EC8F900000578-4247470-image-a-44_1487724815907 202093c87725fa4051dead44527c5e47 football1



Recommended Articles