දෙවැනි තරගයට වර්ෂාව හරස්වෙයි


සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (30දා) නිමාවට පත්විය.

දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබෙත්හිදී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 08 ක් දැවී ලකුණු 417 ක් ලබා සිටින විට සිය ඉනිම අත්හිටුවීය.

දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ ඩීන් එල්ගාර් ලකුණු 121ක්ද, ෆැප් ඩු ප්ලෙසි ලකුණු 103ක්ද රැස්කළහ. ඊට අමතරව ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිති හරඹයක නිරත වූ ඩේල් ස්ටේන් පන්දු 28කදී ලකුණු 58 ක් රැස්කළේය. බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් ජෙරම් ටේලර්, කෙන්රෝයි පීටර්ස් හා ෂනොන් ගේබ්‍රියල් කඩුලු දෙක බැගින් දවාළූහ.

ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 09 ක් දැවී ලකුණු 275 ක් රැස්කරගෙන සිටියේය. බ.ඉ.කො ඉනිම ඔසවා තැබූ ක්‍රේග් බ්‍රාත්වෙයිට් ලකුණු 106 ක් හා මාලන් සැමුවෙල්ස් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්වූහ. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් මෝනි මෝකල් කඩුලු 04 ක් දවාළීය. තරගයේ වීරයා සම්මානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රේග් බ්‍රාත්වෙයිට්ට හිමිවිය.

කෙසේ නමුත් තරගාවලියේ පළමු තරගය ජයගත් දකුණු අප්‍රිකාව මේ වනවිට 1- 0 ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටියි. දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට (02දා) කේප්ටවුන්හිදී ආරම්භ වීමට නියමිතය.

දකුණු අප්‍රිකාව ප්‍රථම ඉනිම 417/08 (පන්දුවාර 122)

ඩීන්  එල්ගා 121 (පන්දු 239,4x18)

ෆැප් ඩූ ප්ලෙසි 103 (පන්දු 230, 4x13,6x2)

ඩේල් ස්ටේන් 58 (පන්දු 28, 4x6,6x5)

කෙන්රෝයි පීටර්ස් 2/69 (පන්දුවාර 20)

ෂනොන් ගේබ්‍රියල් 2/80 (පන්දුවාර 21)

බ.ඉ.කොදෙව් පළමු ඉනිම 275/9 (පන්දුවාර 79)

ක්‍රේග් බ්‍රාත්වෙයිට් 106 (පන්දු186, 4x12)

මාලන් සැමුවෙල්ස් 101 (පන්දු 160, 4x4, 6x1)

ඩෙවන් ස්මිත් 22 (පන්දු 46, 4x5)

මෝනි මෝකල් 4/69 (පන්දුවාර 20)

ඉම්රාන් තාහිර් 3/108 (පන්දුවාර 26)



Recommended Articles