දුර්වල පන්දු රැකීමෙන් අත්මිදෙමු


එංගලන්ත - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි එක්දින තරගය එංගලන්තයේ එජ්බැස්ටන්හිදී අද (24දා) පැවැත්වේ. තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමවීම හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පළමු තරගයේ ප්‍රතිඵලය එය වුවද, එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ජයගත හැකිව තිබූ තරගයකි. කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සාපේක්‍ෂව පළමු එක්දින තරගයේ පන්දු රැකීම හැර, සෙසු අංශයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සෑහීමකට පත්විය හැකිය. නමුත් වැදගත් වන්නේ එම දක්‍ෂතාවන් දිගින් දිගටම ඉදිරිපත් කිරීමය. 

13438804_1855665301131335_4812302877407406549_n

තරගාවලියේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පවතින්නේ ඉතා දුර්වල මට්ටමකය. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකිය. ජාත්‍යන්තර මට්ටමේදී අනිවාර්යයෙන්ම රැකගත යුතු ඉතා පහසු උඩ පන්දු ගිලිහී යෑමද ගැටලුවකි. තරුණ ජවයෙන් යුතුව පිටියේ යුහුසුළුව කටයුතු කරන තරුණ ක්‍රීඩකයන්ගෙන් මෙවැනි දුර්වල පන්දු රැකීමක් ප්‍රදර්ශනයවීම විමතිය දනවන්නකි. කෙසේ නමුත් නිමාවූ පළමු තරගයේදී දසුන් ශානක රැකගත් විශිෂ්ට මට්ටමේ උඩපන්දුව පැසසිය යුතුය. 

තරගාවලිය ආරම්භයේදී එංගලන්ත දේශගුණයට අපේ ක්‍රීඩකයන්ට හැඩගැසීමට යම් කාලයක් අවශ්‍ය වූ බැවින්, පන්දුව ග්‍රහණය කරගැනීමේදී යම් අපහසුතාවක් ඇතිවිය. එහෙත් මේ වනවිට එංගලන්තයේ දේශගුණ ස්වභාවය වෙනස්ව ඇති හෙයින් මෙන්ම ඒ සඳහා අනුගතවීමට යම් කාලයක්ද හිමිවූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම කිසිසේත් අනුමත කළ නොහැකිය. 

13508910_1855665117798020_3516728030702438855_n

තරගයක් ජයග්‍රහණය කිරීමට පන්දු රැකීම ප්‍රබල සාධකයක් බැවින් බාග අවස්ථාද, උඩ පන්දු බවට පරිවර්තනය කරගැනීමට තරුණ ක්‍රීඩකයන් උත්සාහ කළ යුතුය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අපහසු, බාග අවස්ථා උඩපන්දු බවට පරිවර්තනය කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ කළද, එවැනි අවස්ථා 100% ක් සාර්ථක නොවීම ගැටලුවකි. එය පන්දු රැකීමේදී ක්‍රීඩකයන්ගේ තාක්‍ෂණයේ ඇති ගැටලුවක් නිසා සිදුවන්නක්ද යන්න හැකි ඉක්මනින් සොයා ගත යුතුය. ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ ක්‍රීඩකයන් නොව පුහුණුකරුවන්ය.

13521941_1855665224464676_4455267053119203757_n

වර්තමාන ක්‍රිකට් පිටියේ ප්‍රවණතාවක් නිසා මෙන්ම, ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් සිය පිතිකරුවන් ගැන 100% ක විශ්වාසයක් නොමැති බැවින්ද, පිතිකරුවන් සමග තුන් ඉරියව් ක්‍රීඩකයන් වැඩි දෙනෙකු සමගින් තරග වදින ආකාරයක් දිස්වේ. එහෙත් අප මීට පෙරද සඳහන් කළ පරිදි, එය කණ්ඩායමේ සමබරතාවට ගැටලුවකි. එබැවින් අද (24 දා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට තවත් නිත්‍ය දඟ පන්දු යවන්නෙකු කැඳවන්නේ නම් වැඩි ප්‍රතිඵල අත්කර ගත හැකිය. ප්‍රසන්නගේ සහායට ධනුෂ්ක ගුණතිලක භාවිත කළද, ඔහු තවමත් දඟ පන්දු යවන්නෙකු ලෙස විශ්වාසය දිනාගැනීමට සමත්ව නොමැත. 

13510871_1855665027798029_3078524541468678809_n

පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ බැවින්, අද පැවැත්වෙන තරගයට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය. මෙම සටහන තබන මොහොත වනවිටත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තේරුම් කමිටුව ගෙන නොතිබුණි. ඇන්ජලෝ මැතිව්ස් කලක පටන් ආබාධයකින් පෙළෙන ක්‍රීඩකයෙකි. තවද එය වරින් වර මතුවන බැවින් මෙන්ම ඔහු කණ්ඩායමේ සිටීම වැදගත් බැවින්ද ඇන්ජලෝව පන්දු යැවීමට යොදාගන්නේ නම් එය යම් සැලැස්මකට අනුව සිදුකළ යුතුය. එසේ නොමැතිනම් ඇන්ජලෝ විවේක ගෙන සිය ආබාධය සම්පූර්ණයෙන් සුව අතට පත්කරගෙන නැවත පැමිණිය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක්ද පෙනෙන්නට නොමැත. 

13507020_1855665121131353_1025421332465080138_n

ඇන්ජලෝ දීර්ඝ ඉනිමක් ක්‍රීඩාකළ පසු පන්දුවාර වැඩි සංඛ්‍යාවක් යවන බොහෝ අවස්ථාහිදී, ඔහුගේ ආබාධය යළි යළිත් මතුවන බැවින් ඇන්ජලෝ අද තරගයට ක්‍රීඩා කරන්නේ නම්, ඔහු පන්දුවාර 04කට වඩා නොයැවිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. ආබාධය හේතුවෙන් ඇන්ජලෝ අද තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් ඔහුගේ ස්ථානයේ උපුල් තරංග ක්‍රීඩා කරවා, සුරාජ් රන්දිව් කණ්ඩායමට කැඳවිය හැකිය.

13501738_1855665107798021_4324862016377362975_n

ළහිරුට මෙන් උපුල්ට අවස්ථා හිමි නොවන බැවින් අද තරගයේදී උපුල්ගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට අවස්ථාවක් නැතුවා නොවේ. ධනංජය සිල්වාට හෝ ළහිරු තිරිමාන්නට ඒ සඳහා වැඩි අවස්ථාවක් ඇත. යම් හෙයකින් උපුල්ගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කරන්නේ නම් එය ධනංජයට හිමිවීම කණ්ඩායමට වඩාත් ප්‍රතිඵලදායකය. කෙසේ වෙතත් ළහිරුට අවස්ථා පිට අවස්ථා හිමිවන්නා සේම සෙසු ක්‍රීඩකයන්ටද සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට සෑහීමකට පත්විය හැකි පරිදි අවස්ථා ලබාදිය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.

 

 

13521862_1855665217798010_1457581532939079077_n13521991_1855665211131344_2251872563393707790_n

දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද (24දා) ප.ව. 6.30ට (මෙරට වේලාවෙන්) ආරම්භ වේ.

ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් ෆේස්බුක් ගිණුමෙනි

 
 
 
 
 
 


Recommended Articles