දකුණු ආසියාතික ජල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ


පළමු දකුණු ආසියාතික ජල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උලෙළ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) සවස කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධජය රැගෙන යෑම, තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමේ නායක දකුණු ආසියාතික ක්‍රීඩා උලෙළේ රන් පදක්කම්ලාභී මැතිව් අබේසිංහ විසින් සිදු කරනු ලැබීය. මේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග  හා රිද්මයානුකූල පිහිනුම් (Synchronized swimming) අංගයන්ගෙන් වර්ණවත් විය. 

තරගාවලිය ආරම්භ කරමින්   පැවැති දියපන්දු (වෝටර් පෝලෝ) පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ගෝල 10-08ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. තරගාවලිය ආරම්භ කරමින් පැවැති මෙම තරගය ඊයේ (18දා) සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණි.තරගය ආරම්භයේදී ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයන්ට දැඩි  පීඩනයක් එල්ලකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූ අතර තරගයේ පළමු කාර්තුව අවසන් වූයේ 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිමිනි.

දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 03ක් රැස්කර ගනිද්දී ඉන්දියාවට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 02ක් පමණි. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසනදී ලකුණු තත්ත්වය 5-3 ක් ලෙසින් දැක්විණි.කෙසේ නමුත් ඉන් අනතුරුව තරමත් තරගයට අවතීර්ණ වූ  ඉන්දියානු ක්‍රීඩකයන් තරගයේ තෙවැනි කාර්තුවේදී ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකාවද එහිදී ගෝල 02ක් වාර්තා කළේය. නමුත් තෙවැනි අර්ධය අවසනදීද 7-5ක් ලෙස තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතුවිය.

කෙසේ නමුත් තීරණාත්මක සිවුවැනි වටයේදී ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කළ ඉන්දියානු ක්‍රීඩකයන් සිවුවැනි කාර්තුවේදී ගෝල 05ක් වාර්තා කළ අතර, ඉන් 03ක්ම මිනිත්තු 03ක් ඇතුළතදී වාර්තා කිරීම විශේෂත්වයකි.තරගයේ අවසන් මොහොත වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය තරමක් උදාසීන වූ අතර, ඔවුන්ට සාර්ථක කරගත හැකි වූයේ  දඬුවම් පහරක් මගින් ලබාගත් ගෝලයක්  පමණි. තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සචිත ජයතිලක (4), බාසිත් යාකූබ් (2), ෂාක්‍ය ගුණතිලක (1) හා කිසල්. ආසළආරච්චි (1) බැගින් ගෝල වාර්තා කළහ. තරගාවලියේ ඊයේ (18දා) පැවැති එකම තරග ඉසව්ව මෙය වූ අතර, මෙහි කාන්තා අංශයේ තරග අද (19දා) උදෑසන පැවැත්වේ. කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයෙන්ම තරග 03 බැගින් මෙහිදී පැවැත්වේ. තරගාවලියේ පිහිනුම් ඉසව් අද සවස ආරම්භ වේ. 

ඡායාරූප ඉසුරු පෙරේරා

 AID_0343 AID_0350 AID_0354 AID_0362 AID_0376 AID_0397 AID_0399 AID_0400 AID_0402 AID_0404 AID_0407 AID_0410 AID_0412 AID_0413 AID_0416 AID_0418 AID_0420 AID_0424 AID_0437 AID_0438 AID_0439 AID_0448 AID_0463 AID_0474 AID_0482AID_0332

 



Recommended Articles