තර්ජිනී ඔස්ට්‍රේලියාවට ක්‍රීඩා කරයි


ලොව දක්ෂතම දැල්පන්දු විදින්නියක (Shooter) හා ආසියාවේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව වන ශ්‍රී ලංකාවේ තර්ජිනී සිවලිංගම්ට ඔස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබේ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩිකාවකට ජාත්‍යන්තර කණ්ඩායම් සඳහා එක්ව ක්‍රීඩා කිරීමට ලැබුණු පළමු හා එකම අවස්ථාව වන අතර, ඔස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් කොන්ත්‍රාත් පදනම මත සේවය ලබාදෙන පළමු අවස්ථාව ලෙසද සටහන් වේ.

ඒ අනුව තර්ජිනී ඔස්ට්‍රේලියානු 'සිටි වෙස්ට් ෆැල්කන්ස්' මෙල්බර්න් හා ශාන්ත ඇල්බන්ස් යන එරට ප්‍රමුඛ පෙළේ කණ්ඩායම්වලට ක්‍රීඩා කිරීමට නියමිතය. මාස 06ක කොන්ත්‍රාත් පදනම මත තර්ජිනී මෙම කණ්ඩායම්වලට සේවය ලබාදෙන අතර ඇයට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදීමේ පුමුඛ කාර්ය භාරයක් සිදුකර ඇත්තේ හිටපු දක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක් හා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකාරිණියක් වන තිලකා ජිනදාසය.

tharj2 copy

තිලකා මේ වනවිට බෘෘනායි ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස කටයුතු කරයි. ඇයගේ නිර්දේශ මත හා තර්ජිනී සිවලිංගම්ගේ කළමනාකරු එස්.ගෝබිනාත් යන පුද්ගලයන්ගේ උත්සාහය හා කැපවීම මත තර්ජිනීට ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වී තිබේ. ඔස්ට්‍රේලියාවේදී තර්ජිනීගේ පෞද්ගලික පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනුයේ නිකොල් රිචඩ්සන්ය. ඇය ඔස්ට්‍රේලියානු දැල්පන්දු කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩිකාවක මෙන්ම විශේෂඥ පුහුණුකාරිණියක ලෙසද නම් දරා සිටින්නීය.

සැප්තැම්බර් මස සිට තර්ජිනී ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමට නියමිත අතර ඇයට මෙම ලැබුණු අවස්ථාවට සහභාගීවීමට ඇයගේ  කළමනාකරු එස්.ගෝබිනාත්, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා ජාතික දැල්පන්දු සංගමයෙන්ද ඉල්ලීමක් කර ඇතැයි අනාවරණය වේ.
කෙසේ වෙතත් ඒ සඳහා මේවනවිටත් නිසි අවසරයක් ලැබී නොමැති අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට පළමු වරට ලැබුණු මෙම අවස්ථාව ඉන් මගහැරීයාමේ අවදානමක්ද මතුව තිබේ. තර්ජිනීට ඔස්ට්‍රේලියාවේදී විශේෂඥ දැල්පන්දු පුහුණුවක්ද ලබාදීමට අදාළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජ එකඟත්වය පළ කර තිබේ.

පසුගිය කාලය පුරාම ජාතික දැල්පන්දු සංචිතයේ ස්ථානයක් නොමැතිව දේශීය තරගවලට පමණක් ක්‍රීඩා කළ තර්ජිනී මෙම ලද අවස්ථාවෙන් සිය දක්ෂතා ප්‍රගුණ කර යළිත් ශ්‍රී ලංකා සංචිතයට එක්වනු ඇතැයි ඇයගේ කළමනාකරු වැඩිදුරටත් පවසා සිටියේය.

2014-asian-netball-championships-finals-singapore-vs-sri-lanka-11_Chen Li Li and Tharjini Sivalingam copy 249424_205959082772679_8247456_n copy Netball-sri-lanka6 copy Our-player-Tharjini-Sivalingam-with-the-tallest-netball-player-of-Australia-and-the-Sports-Minister-Western-Australia copy



Recommended Articles