ගුවන් හමුදාවට දැල් පන්දු ශුරතාවක්


අන්තර් ක්‍රීඩා සමාජ විවෘත දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ලකුණු 26 -24ක් ලෙස තියුණු සටනකින් අනතුරුව පරාජයට පත් කරමින් මෙවර ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා  කණ්ඩායම සමත් විය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා සංකීර්ණයේදී පෙරේදා (22දා) ආරම්භ වූ මෙම තරගාවලිය ඊයේ (23දා) නිමාවට පත්විය.ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හා කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා සංකීර්ණ කළමනාකාරිත්වය එක්ව මෙම තරගාවලිය සංවිධානය කළ අතර, ඊට දිවයිනේ ක්‍රීඩා සමාජ 34ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ 340ක් පමණ සහභාගි වූහ.

පෙරේදා (22දා) දිනයෙහි තරගාවලියේ මූලික වටයේ තරග පැවැති අතර, ඉන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැටන් නැෂනල් බැංකුව, පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා භූමි නිල් කණ්ඩායම හා යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සමත් විය.

එහිදී හැටන් නැෂනල් බැංකුව විසින් ලකුණු 20 -01ක් ලෙස පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායමද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලකුණු 23 – 18ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවද, වරාය අධිකාරිය විසින් ලකුණු 26 – 14ක් ලෙස ක්‍රීඩා භූමි කණ්ඩායමද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලකුණු 22 – 07ක් ලෙස යාපනය දිස්ත්‍රික් කණ්ඩායමද පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලකුණු 24 – 20ක් ලෙස හැටන් නැෂනල් බැංකුවද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලකුණු 32 – 20ක් ලෙස වරාය අධිකාරියද පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.

මෙවර තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව හෙවත් දැල්පන්දු රැජින ලෙස ගුවන් හමුදාවේ දුලංගා ධනංජි කිරුළු පැළඳූ අතර, ඇය දක්‍ෂතම පන්දු විදින්නිය ලෙසද සම්මාන දිනාගත්තාය. මීට අමතරව පිටියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේම තිළිණි වත්තේගෙදර හා දක්‍ෂතම ආරක්‍ෂක ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාවේ දීපිකා දර්ශනීද සම්මාන දිනාගත්හ.

ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති යසා රාමචන්ද්‍ර, ආයෝජන මණ්ඩලයේ නීති සහ කාර්මික සබඳතා අධ්‍යක්‍ෂිකා හිමාලි ඔරුගොඩවත්තද එක්ව සිටියහ.

_KSR2429 _KSR2533 _KSR2575 _KSR2633 _KSR2653 _KSR2661 _KSR2664 _KSR2672 _KSR2678 _KSR2689 _KSR2693 _KSR2695 _KSR2702 _KSR2710 _KSR2713 _KSR2717 _KSR2719 _KSR2736 _KSR2748 _KSR2753

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ

 



Recommended Articles