සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය අලුතින් ඉදිකිරීමේදී ඒ සඳමා රජය කිසිඳු මුදලක් නොගෙවන බවත් අදාළ වියදම් ධාවන පථය ඉදිකළ පාර්ශ්ව විසින්ම දරාගත යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ, ඊයේ (09දා) කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.
"සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයට අත්වෙලා තිබෙන ඉරණම මට ඇස් දෙකෙන්ම දකින්න ලැබුණා. මම බලාපොරොත්තු වෙනවා මේ සියල්ල ගැන වගකිව යුතු සියලු පාර්ශ්ව එක්ක සාකච්ඡා කරන්න. මෙය අලුතින් ඉදිකරනවා ඇරෙන්න මෙහි නවීකරණය කරන්න දෙයක් නැහැ.
එමනිසා මගේ මතය මෙම ධාවන පථය ඉදිකළ පාර්ශ්ව නැවත මුල සිට ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතුයි. නමුත් මේ වෙනුවෙන් ආණ්ඩුවෙන් සත පහක්වත් ගෙවන්න අපි සූදානම් නැහැ. රජයට බරක් වෙන්න බැහැ. මේක දූෂණයක් කියලා හැම තැනම ප්‍රචාරය වෙලා තිබෙන්නේ" යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට ධාවන පථය ඉදිකිරීම් කටයුතු සිදුකළ ගහකොළ ලෑන්ඩ්ස්කේපින් සමාගමේ නියෝජිතයන්ද පැමිණ සිටි අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකළේය. කෙසේ නමුත් ඉදිකිරීම් සමාගම සමග වෙනම සාකච්ඡාවක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.
.jpg)
.jpg)

