ක්‍රිකට් පරාජයෙන් ගොඩ එන්න ජනතා අදහස් විමසයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මගට ගැනීමේ අරමුණෙන් පැවැත්වෙන විශේෂ වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමට හේතුවන කරුණු පිළිබඳ  අදහස්  ලිඛිතව දන්වන මෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවීණයන්, විද්වතුන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ක්‍රීඩා අමාත්‍යාශංය ඉල්ලා සිටියි.

එම අදහස් සභාපති, ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යාංශය, අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන ලෙස අමාත්‍යාංශය පවසයි.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජය පිළිබඳ හේතු විමසා ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වැඩමුළුවක්ද සංවිධානය කර තිබේ. එම වැඩමුළුව මෙහෙයවීම ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මිල්ටන් අමරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ මහචාර්ය රංජිත්  බණ්ඩාර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරු විසින් සිදුකිරීමට නියමිතය.

හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරු, හිටපු අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරු, හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායම් නායකවරු, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන්, ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපති සහ හිටපු සභාපතිවරුන්, ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්, ජාතික ක්‍රීඩාවන් සම්බන්ධව ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇති ප්‍රවිණයන් සහ දිස්ත්‍රික් පළාත් ක්‍රිකට් සංගම් සභාපතිවරුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩමුළුව මේ මස 15 වැනිදා පෙ.9.00 සිට ප.ව. 4.00 දක්වා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්වීමට නියමිතය



Recommended Articles